මහින්දානන්දට රට යන්න අවසර


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
විදුලි බල  රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ සහ ස.තො.ස ආයතනයේ හිටපු සභාපති නලින් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ට විදේශගත වීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද    (16)  අවසර ලබා දුන්නේය.
 

 ඒ අනුව රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට අද (17) සිට ලබන ජනවාරි 15 වැනිදා තෙක් සිංගප්පූරුවට හා ස.තො.ස හිටපු සභාපති නලින් ප‍්‍රනාන්දු මහතාට මෙම මස 25 වැනිදා සිට ලබන ජනවාරි 15 වැනිදා තෙක් එංගලන්තයට යෑම සඳහා එසේ අවසර ලැබු අතර එම කාල සීමා තුළ ඔවුන්ට අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනමද තාවකාලිකව ඉවත් කෙරිණි.
 
 මෙම නඩුව මහාධිකරණ විනිසුරු ආර්.ගුරුසිංහ ( සභාපති ),ශෂී මහේන්ද්‍රන් හා අමල් රණරාජා යන විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
 
 නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කළ ඉල්ලීමකින් පසුව මෙම අවසරය ලැබිණි.
 
2014 වසරේ සැප්තැම්බර් 01 වැනිදා ,සිට එම වසරේ දෙසැම්බර් 31 දක්වා අතර කාලයේදී එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන 53ක් වටිනා කැරම් බෝඞ් දාහතර දහසක් හා දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක‍්‍රියාකාරකම් සඳහා බෙදා හැරීමෙන් රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය.
 
 විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු මෙම නඩුවේ පරිගණක සාක්කි පරීක්ෂාවක් සඳහා ලබා දුන් කාල සීමාව ඉක්මවා ඇති බැවින් එම සාක්කි කැඳවීමට අවසර නොදෙන ලෙස ඉල්ලා සිටියේය.
 
ඒ පිළිබඳ නියෝගය ජනවාරි 31 වැනි දිනට ප‍්‍රකාශ කරන බව අධිකරණය අද (16)  දැනුම් දුන්නේය.