රිච්මන්ඩ් මහින්ද ආදරවන්තයන්ගේ මහා ක්‍රිකට් ගැටුමේ දී පොදු දේපලට හානිකරන ලදැයි සැකපිට අත්අඩංගුවට ගත් මහින්ද විද්‍යාලයීය ආදි සිසුන් දෙදෙනා 28දා දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ශානක කලංසූරිය මහතා අද නියෝග කළේය. පසුගිය සෙනසුරාදා ක්‍රිකට් තරඟය පැවැත්වෙමින් තිබියදී ක්‍රීඩාපිටියට කඩා වැදුණු පිරිසක් ඉවත්කිරීමට පොලීසිය උත්සාහ ගැනීමේදී මහින්ද ආදි සිසුන්ගේ කූඩාරමක් දෙසින් පොලීසියට ගල් සහ පොලු එල්ලවන්නට විය. එම අවස්ථාවේ පොලීසිය ද අවස්ථා කිහිපයක් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. පොලීසිය පවසන්නේ ඇතිවූ කලබලකාරී අවස්ථාවේදී ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ පොදු දේපලවලට රුපියල් 780,000ක අලාභයක් සිදුව ඇති බවයි. මේ සිද්ධියට අදාල සැකකරුවන් 17 දෙනකු හඳුනාගැනීම සඳහා විද්‍යුත් මාධ්‍ය සතු දර්ශන ලබාදෙන ලෙස ලෙස පොලීසිය කරන ලද ඉල්ලීමට අනුව මහේස්ත්‍රාත් වරයා එම නියෝගය විද්‍යුත් මාධ්‍ය ආයතන වෙත නිකුත් කළේය.
විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් කියා සිටියේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය නගර සභාව සතු පොදු දේපලක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතු පුද්ගලික දේපලක් බවයි. තරඟයට පෙර ක්‍රීඩාංගණයට සිදුවන අලාභහානි වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කැර ඇති බව ද ඔවුන් අධිකරණයට දන්වා සිටියේය. මේ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත් වරයා ක්‍රීඩාංගණය පොදු දේපලක්ද යන්න තීරණය කිරීම සඳහා ගාල්ල නාගරික කොමසාරිස් වරයාගෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයනයෙන් සාක්ෂි ලබාගෙන වාර්තා කරන ලෙස පොලීසියට නියෝග කළේය.

