(අංජුල මහික වීරරත්න)
කොරෝනා ශීඝ්‍රයෙන් පැතිරෙමින් යන අවස්ථාවේ රට වසා තැබීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ මැදිහත්වීම ම විශාල පින්කමක් බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා නාරාහේන්පිට අභයාරාමයේ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (1) පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ 75 වන සංවත්සරය පිළිබඳව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
පොදුජන පෙරමුණු ආණ්ඩුව බිහි කිරීම සඳහා විශේෂ කාර්යභාරයක් කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් වැඩ වසන නාරාහේන්පිට අභයාරාමයේ දී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවක් පැවැත්වීම විශේෂත්වයක් විය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2015 වසරේ ලැබූ පරාජයත් සමඟ දේශපාලන කටයුතු ඇරඹූයේ ද නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ සිටයි.

