මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් සිංහල ජනතාව පදිංචි කරනවා යැයි විරෝධතා


 

(සිතුම් චතුරංග)

      

මහවැලි කලාප නිර්මාණය කරන මුවාවෙන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ සිංහල ජනතාව පදිංචි නොකරන ලෙස ඉල්ලා මුලතිව් දිස්ත‍්‍රික්කයේ දෙමළ ජනතාව සහ සිවිල් සංවිධාන අද (28) මුලතිව් නගරයේ විරෝධතාවක නිරත වූහ.

මොරගහකන්ද ජලාශ සහ කළු ගඟ ව්‍යාපෘති ඔස්සේ උතුරට ජලය ගෙන එන මුවාවෙන් මහවැලි කලාප නිර්මාණය කර සිංහල ජනතාව පදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සිදුකරන බවත් විරෝධතාකරුවෝ පවසති.

අපේ ඉඩම් හා අපේ උරුමයට අත නොතබනු , උතුරට මහවැලිය එපා, දෙමළ ජනාවාස තුළ සිංහල ඉදිකිරීම තවත් ජනසංහාරයක් බවට සටන්පාඨ හා පුවරු රැගෙන විරෝධතාවයේ නිරතවූහ.

විරෝධතාවයට සහය දක්වමින් මුලතිව් නගරයේ සියලූ කඩ සාප්පු වසා දමා හර්තාල් ව්‍යාපාරයක්ද සංවිධානය කර තිබිණි.

මුලතිව් නගරයේ මධ්‍යයේ සිට විරෝධතාවය දක්වමින් පාගමනක් ද ආරම්භ කළ අතර පසුව මුලතිව් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ක‍්‍රීඩාංගනයට රැස්ව විරෝධතාකරුවන් ජන හමුවක් පවත්වමින් දෙමළ දේශපාලන නායකයින් උතුරේ සිංහල ජනතාව පදිංචි කිරීම පිළිබඳ විරෝධතාවය පළ කර සිටියහ.