මහර බන්ධනාගාරයේදී මියගිය සිරකරු වෙනුවෙන් උසාවි යනවා


(විනීතා එම් ගමගේ)
 
මහර බන්ධනාගාරයේ දී ඉකුත් මැයි 3 වැනිදා පැනයන්නට තැත්කරද්දී මියගිය බව පවසන තරුණයා, බන්ධනාගාරය තුළ දී පහර දීමෙන් මියගිය බව වාර්තා වී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරුකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් අද (08)  චෝදනා කළේය.
 
මේ වනවිට ඔහුට පහර දුන් බව ඇසින් දුටු සාක්ෂි තමන් සතුවඇති බවත් ඒ නිසා අධිකරණමය ක‍්‍රියා මාර්ගවලට යාමට බලාපොරොත්තු වන බවත් නන්දිමාල් මහතා කීය.
 
මියගිය සිරකරුට පහර දෙනු දුටු සිරකරුවෙකුගෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීමට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව වෙනුවෙන් එහි සභාපති නිතිඥ සේනක පෙරේරා මහතා මහර බන්ධනාගාරයට ගිය නමුත් ඒ සදහා ඔහුට අවසර දී නැතැයි ද මේ නිසා මෝසමක් ඉදිරිපත් කර අධිකරණය හරහා පොලිසියට එකී සිරකරුගෙන් ප‍්‍රකාශයක් ගන්නට අවසර ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

සුදේශ් නන්දිමාල් මහතා මේ අදහස් පළ කළේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මඟින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී අද (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක්වූ නන්දිමාල් මහතා මිනිස් වාසයට නුසුදුසු ගොඩනැගිලි සහිත බූස්ස බන්ධනාගාරය දරුණු අපරාධකරුවන් සදහා පමණක් වෙන් කිරීමට ගෙන ඇති තීරණය ද සැක සහිත බව කියා සිටියේය.
 
මේ වනවිට එහි ආරක්ෂාව ස`දහා යැයි පවසමින් යොදවා ඇති විශේෂ කාර්ය බලකාය බන්ධනාගාර ඇතුළට පවා යන බවත් එය නීති විරෝධී කටයුත්තක් බවත් කියා සිටියේය.

මේ සුදානම් වන්නේ දරුණු ගණයේ අපරාධකරුවන් යැයි කියා වෙන් කර බූස්ස බන්ධනාගාරයේ හුදකලා කරමින් හිතා මතා යමක් කරන්නදැයි සාධාරණ සැකයක් මතුවන බවත් හෙතෙම තවදුරටත් පැවැසීය.

මහර බන්ධනාගාරයේ දී මියගිය තරුණයා ගේ මව්පියන් ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති සේනක පෙරේරා මහතා ද මානව හිමිකම් ක‍්‍රියාකාරිනියක වන රුකී ප‍්‍රනාන්දු මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වී සිිටියහ.