මහමැතිවරණයට තරග කරන්නේ නැති බව සම්බන්ධන් කියයි


(එෆ්.අස්ලම්)

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් තරග නොකරන බවට දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා දෙමළ ජාතික සන්ධාන සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අවධාරණය කර තිබේ.

දෙමළ ජාතික සන්ධාන පක්ෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම එම සන්ධානය නියෝජනය කරන ඉලංකයි තමිල් අරසු කච්චි, ප්ලොට් හා ටෙලෝ යන පක්ෂ ත්‍රිත්වයේ නායකයින් ඇතුළු ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන් යාපනය ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේ දී (17) පැවැත්විණි.

උගත් තරුණයකු පාර්ලිමේන්තු මහ මැතිවරණයට ඉදිරිපත් කරන බවද සම්බන්ධන් මහතා මෙහිදී අවධාරණය කර සිටි බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සඳහන් කළේය.

දෙමළ ජාතික සන්ධානය දේශපාලන පක්ෂයක් බවට ලියාපදිංචි කිරීම, ඉදිරි මැතිවරණයට මුහුණ දීම සහ සන්ධානයේ පක්ෂ අතර ආසන බෙදා ගැනීම පිළිබඳ මෙහිදී  සාකච්ඡා වූ බවත් තවදුරටත් ඒ ගැන සාකච්ඡා  කිරීම සඳහා දෙමළ ජාතික සන්ධාන සම්බන්ධීකරණ කමිටුව ලබන 27 වැනිදා යාපනයේ දී යළි රැස්වීමට නියමිත බවද එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.