මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් ලෙස පෙනී සිට කප්පම් ගන්නා කල්ලියක්


( තිලකරත්න දිසානායක)

කොරෝනා රෝග තත්ත්වය හේතුවෙන් තෙමසක පමණ කාලයකින් පසුව විවෘත කළ ගම්පහ ප්‍රදේශයේ රූපලාවණ්‍යාගාර සහ සැලුන් වෙතින් කප්පම් ඉල්ලා සිටින කල්ලියක් සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි ලැබී ඇත.

සාමාන්‍ය කටයුතු සදහා රට විවෘත කිරීමෙන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයීය උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන්ගේ සුපරීක්ෂාව යටතේ රූපලාවණ්‍යාගාර සහ සැලුන් විවෘත කොට ඇති පසුබිමක මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් බව හගවා , සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රූපලාවණ්‍යාගාර සහ සැලුන් පරීක්ෂා කිරීමට එන බැවින් එය වලක්වාලීම සඳහි විද්‍යුත් ක්‍රමයට මුදල් තැන්පත් කරන ලෙසට දුරකථන ඇමතුම් ලබාදී ඇති බවට එම හිමිකරුවන් කිහිප දෙනෙකු විසින් පැමිණිලි කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කිහිප දෙනෙකු තමන් වෙත දැනුම් දුන් බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසීය.  

මෙලෙස මුදල් තැන්පත් කරන ලෙසට ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ ස්ථානයකට ලැබී ඇති දුරකථන ඇමතුමකට අනුව එහි හිමිකාරිය විසින් රුපියල් 10,000 ක මුදලක් තැන්පත් කොට ඇති බව එම හිමිකාරිය තමන් වෙත ප්‍රකාශ කළ බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක සුසන්ත බණ්ඩාර මහතා පැවසීය.

මෙලෙස කප්පම් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, මෙලෙස කප්පම් ඉල්ලා සිටීම ගම්පහ නගර සභා සීමාව තුල සිදු කෙරෙන ආකාරයක් පෙනෙන්නට ඇති බවත් මෙම ක්‍රියාව මෙහෙයවන පුද්ගලයා හෝ සංවිධානය සෞඛ්‍ය අංශ ක්‍රමවේදය පිළිබඳව හොදින් දන්නා බව පෙනී යන බවත්ය.

මෙවන් වංචනික පුද්ගලයින්ට මුලා නොවන ලෙස රූපලාවණ්‍යාගාර සහ සැලුන් පවත්වාගෙන යනු ලබන්නන් සහ සියලුම ව්‍යාපාරික මෙන්ම ආයතන හිමිකරුවන් වෙත දැනුම් දෙන බව පැවසූ ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා තවදුරටත් කියා සිටියේ, කප්පම් ඉල්ලා සිටිමින් දුරකථන ඇමතුමක් ලද හොත් ඒ අනුව කිසිම විටෙක කටයුතු නොකරන ලෙසත් වහාම පොලීසියට පැමිණිලි කිරීමට පියවර ගන්නා ලෙසත්ය.