මහ කන්නයේ වගා කරන්න දින 35ක් ගොවීන්ට ජලය


(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නයේ මහ වාරි ක්‍රමය යටතේ වී වගා කරන ගොවීන්ට දින 35ක් ජලය සපයීමට අද (10) පැවැති මහවැලි ජල කළමනාකරණ කමිටුවේ දී තීරණය කෙරෙණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඉල්ලීම අනුව මෙම තීරණයට එළඹි බව ජල කළමනාකරණ කමිටුවේ සභාපති ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, කිර්ති බී. කොටගම මහතා අද (10) පේරාදෙනිය, ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා තාක්ෂණ ආයතනයේ පැවැති ජල කළමනාකරණ කමිටු රැස්වීමේදී සදහන් කෙළේය.

කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල හා මොරගහකන්ඳ, කාසල්රී, මාවුස්සාකැලේ, උඩවලව, දඹුලුඔය, රාජාංගණය, නුවරවැව, ගිරතලේ, මින්නේරිය, කන්තලේ, වෙන්ඩ්‍රාසන් කවුඩුල්ල, පරාක්‍රම යන ජලාශවල මේවන විට ජල ධාරිතාව 50% - 90% අතර මට්ටමක පවතින බැවින් මහ කන්නය සදහා දින 35ක් ජලය සැපයීම ගැටලුවක් නොවන බව ජල කළමනාකරණ රැස්වීමේදී මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා පැවසීය.