උතුරුමැද පළාතේ මාස් කන්නයේ වැසි වැටෙන විට තැනින් තැන හඩන කුඩා පක්ෂියෙක් සිටී.ඌ සංක්‍රමණික පක්ෂියෙකි .වන්නි ජනයා ඌ ‘අවිච්චියා‘ යනුවෙන් හදුන්වති.ඒ නම ඇත්ත වශයෙන්ම ‘ඇවිත් ගියා‘ යන්නෙන් බිදී ආවක් බව මට පඩ්වරයෙක් කීවේය.
මා කියන්නට තැත් කරන්නේ ඒ වචයේ නිරුක්තිය පිළිබඳව නොව අවිච්චියා සම්බන්ධ කතාවකි.
වැව් වතුරෙන් පිරෙනවිට මාස් කන්නයේ ගොවිතැන් කිරීමට පෙර වැවේ පංගු කාරයන් සමඟ ‘කන්න‘රැස්වීම පවත්වනු ලැබේ.ඒ රැස්වීම් පැවැත්වීම උප දිසාපතිවරයාගේ මුලිකත්වයෙන් සිදු වන්නකි.එබදු එක් කන්නයක තම්මැන්නාකුලම නම් වැවේ ‘කන්න‘රැස්වීම් පැවැත්වීම සඳහා මම ගියෙමි.
වැවේ පංගු කාරයන් සාමාන්‍යයෙන් රැස්වීම සඳහා එකතු වන්නේ ගමේ පන්සලේ හෝ පාසලේය.ඒ රැස්වීම් පිළියෙළ කරන්නේ ආරච්චි මහත්තයා(ග්‍රාම සේවක නිලධාරි) විසිනි.කුඹුරු සී සාන දින වකවානු ,වැට බඳින දින වකවානු, ඉසින වී වර්ගය ආදී කරුණු ගැන සාකච්ඡා කර එහිදී නිශ්චිත තීරණ ගනු ලැබේ.
එම තීරණය ගැනීමෙන් පසුව ඒවා පිළිපැදීමට සියලු පංගුකරුවෝ බැඳී සිටිති.
ඒ කන්න රැස්වීම පැවැත්වීමෙන් පසුව වැඩකටයුතු නිසිපරිදි කෙරී ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා මම තම්මැන්නාකුලමට ගියෙමි.
එහෙත් පුදුමයකට මෙන් කිසිදු ගොවියෙක් වැඩ පටන්ගෙන තිබුණේ නැත.කිහිප දෙනෙක් වෙලට බැස තිබුණද එය නිසි පරිදි කටයුතු ආරම්භ කිරීමක් ලෙස සැලිකිය නොහැකිව තිබුණේය.
ඒ ඇයි දැයි ගම් ප්‍රධානියාගෙන් කරුණු විමසුවෙමි.ඔහු මදක් අදි මදි කර මට මෙසේ පිළිතුරු දුන්නේය.‘තමුන්නාන්සේට කියන්න ,තාම අවිච්චියෙක් අඩනවා ඇහුණේ නෑනේ ඒකයි පරක්කුව‘
මා තුල මවිතයක් පමණක් නොව සිහින් කෝපයක්ද උපන,ඊට හේතුව වුයේ මේ මිත්‍යා සංකල්ප බදා වැළඳ ගන්නා මිනිස්සුන් කවදා හිස ඔසවද්ද යන්නය.
නාගරිකයකු වු මගේ ආකල්ප ඊට වෙනස් විය.මම ඒ මිත්‍යා මතය නොපිළිගනිමි.ජීවීතය සමඟ පොර බදා ජීවත්වනු මිස නොයෙකුත් මිත්‍යාවන් කෙරෙහි එල්බ ගැනීම අදුරදර්ශි ක්‍රියා පිළිවෙතක් යයි සිතුවෙමි.මම එහෙයින් ගමු ප්‍රධානියාට දොස් කීවෙමී.
‘එහෙ නම් කන්න රැස්වීමත් අවිචිචියාටම බාර දුන්නාම ඉවරයි නොව‘
මුහුණු පුළුටු කර ගත් ගම් ප්‍රධානියා කරබාගෙන ඉවසා සිටියේය.අසල සිටි ඉස්කෝලේ මහත්තයාද යමක් කියන්නට තතනා කට පියාගත්තේය.
ඊට දින කිහිපයකට පසුව ඉස්කෝලේ මහත්තයා මට කාර්යාලයේදී හමු විය.ඔහු අවිච්චියාගේ කතාව ඇද ගත්තේය.
‘සර්,අර අවිච්චියාගේ කතාවේ ඇත්තක් නැත්තෙම නෑ.‘
‘මොකද්ද ඒකේ තියෙන ඇත්ත.නිකං ගම්මැදි හෑලි මිසක්.‘
‘සර් මෙහෙමයි ඔය අවිච්චියා කියන්නේ පුංචි කුරුල්ලෙක් ඌ සීත සෘතුවේදී හිමාලයේ ඉදලයි ලංකාවට එන්නේ ඌට ඔච්චර දුර එකදිගට පියාඹන්න බෑ.ඒ නිසා ඌ මෝසං සුළං එනකල් බලන් ඉන්නවා.ඒ සුළං පාරත් එක්කමයි ඌ එන්නේ.පියාපත් ටිකක් ගහලා හුළං පාරත් එක්ක ඇවිල්ලා ආයෙත් පියාපත් ගහනවා.අන්න එහෙමයි ඌ සේන්දු වෙන්නේ .එතකොට අවිච්චියා ඇඩුවයි කියන්නේ මෝසම් සුළං ඇවිල්ලා.එතකොට වැස්ස සැක නෑ.ඔය ඇත්තෝ ඔය කතන්දරේ දන්නේ නෑ.පාරම්පරික පුරුද්දට අවිච්චියා අඩනකල් බලන් ඉන්නවා වෙළට බහින්න.ඒ කතාවේ ඇත්ත නැත්ත කුමක් වුවද එය කොතරම් චිත්තාකර්ෂණද?
(අනුරාධපුර හිටපු උප දිසාපති එඩ්මන්ඩ් ජයසුරිය ගේ ‘වැව් බැඳි රාජ්ජේ සවාරියක් ‘ නම් කෘතියෙනි)


