මරදාන දුම්රියපොළේ බත් පාර්සල් එකතු කිරීමට බාධක


(අකිල බද්දෙවිතාන)

ආපදාවට පත්වූවන් වෙනුවෙන් ලබාදීම සඳහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා එකතුවූ තරුණ පිරිසක් අද(30) පෙරවරුවේ මරදාන දුම්රියපොළේ දී දිවා ආහාර පාර්සල් හා ජල බෝතල් එකතු කිරීමේ වැඩසටහනකට දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතා බාධා එල්ල කළ බව එම වැඩසටහනේ සංවිධායකවරු කියා සිටිති.

වෙනත් කණ්ඩායමක් සමග එක්ව ගමනාගමන අධිකාරිවරයා හෙට (31) ආධාර එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති නිසා තමන්ට ආධාර එකතු කිරීමට අවසර නොදුන් බව කියමින් එම සංවිධායකවරු හෙට දිනයේ දුම්රියපොළ ආශ්‍රිතව ආධාර එකතු කිරීම අවලංගු කර ඇතැයි සමාජ මාධ්‍ය හරහා දැනුම් දී තිබිණි.

මේ සම්බන්ධයෙන් දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ මහතාගෙන් කළ විමසීමක දී ඒ මහතා කියා සිටියේ එවැනි කිසිදු බාධාවක් තමන් නොකළ බවත් ඕනෑම අයකුට පැමිණ අවතැන් වූවන් වෙනුවෙන් ආධාර එකතු කළ හැකි බවත්ය. විශේෂයෙන්ම මෙවැනි අවස්ථාවක අවතැන් වූවන් වෙනුවෙන් එවැනි සත්ක්‍රියාවක් කිරීම සඳහා අනුබල දීම විනා බාධා කිරීමක් කිරීමට තමන් කිසිදු ආකාරයකින් කටයුතු නොකරන බවත් මෙවැනි බොරු චෝදනා එල්ල කරමින් තමන්ට ද්වේශ සහගතව ඇතැමුන් පහර ගසන අතරම අදාළ සංවිධායකවරුන්ගේ වැඩසටහන කඩාකප්පල්කිරීමට වුවමනා පිරිස් එවැනි ප්‍රචාර යවමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

(ඡායාරූපය - මංජුල සමරසේකර මහතාගේ ෆේස්බුක් ගිණුමෙන්)