සෝමරත්න දිසානායක අප ඔහු හඳුනන්නේ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු ලෙසිනි. මේ දිනවල ප‍්‍රදර්ශනය වන සරිගම චිත‍්‍රපටය මෙන්ම, අතීතයේදී පේ‍්‍රක්ෂකයා ආදරයෙන් වැළඳගත් ‘සූරිය අරණ’ චිත‍්‍රපටය ද අධ්‍යක්ෂණය කළේ ඔහුය.
එපමණක් නොවේ, සරෝජා, පුංචි සුරංගනාවි, සමනල තටු, සිරි රජ සිරි, බිංදු, මෙන්ම ‘සිරි පැරකුම්’ චිත‍්‍රපට ද අවසඳ, සුවඳ, කැකුළු සහ ඉටිපහන් යන ටෙලි නාට්‍යයද අධ්‍යක්ෂණය කළේ සෝමරත්න දිසානායකය.
මේ අපි දන්න සෝමරත්නය.
එතකොට අපි නොදන්න සෝමරත්න දිසානායක යනු කව්ද?
මේ ගසේ බොහෝ
පැනි දොඩම් තිබේ
ඉදිලා පිරිලා බිමට නැමිලා
බරවෙලා අතූ...
මේ ළමා කවිය මම ඇහුවෙ පුංචිම පුංචි කාලෙ. ඔය කවිය අම්මා මට කියලා දුන්නාම මට ප‍්‍රශ්නයක් ඇතිවුණා. මෙච්චර ගෙඩි පිරිල තියෙන ගහේ නංගියි මායි ගෙඩි දෙකක් විතරක් කඩා ගන්නෙ ඇයි කියලා. ගෙඩි හතරක් කඩාගන්න එක වැරැද්දක්ද කියලා. මම අම්මගෙන් ඇහුවා මේ ගැන. එතකොට අම්මා කිව්වා ගහේ ගෙඩි තිබුණට අපි කඩාගන්න ඕන අපිට අවශ්‍ය ගණන විතරයි. නාස්ති කරන්න හොඳ නෑ කියලා. එතකොට මං ඇහුවා මං කඩා නොගත්තත්, මේ ගහේ තියෙන ගෙඩි කුරුල්ලෝ එහෙම ඇවිත් කාලා නාස්ති කරනවා නේද කියලා.
එත්කොට අම්මා කිව්වා, අපි වගේම කුරුල්ලොත් කන්න ඕනේ. උන්ට කන්න තියෙන්නේ මේ ගස්වල තියෙන ගෙඩි තමයි කියලා.
එතකොට රෝස මලේ නටුවේ කටූ, වන බඹරෝ ඔහොම හිටූ කියන කවිය.
ඔය කවියත් මට ප‍්‍රශ්නයක් වුණා. මම අම්මගෙන් ඇහුවා, රෝස මලේ කටු කියලා බඹරුන්ට නවතින්න කියන්නෙ ඇයි කියලා?
සොබාදහම ගැන ලියැවුණු කවි ගැන මම ප‍්‍රශ්න කරන්න පටන් ගත්තේ ඔයවගේ පුංචිම පුංචි කාලෙ.... ඊට පස්සෙ හැමදාමත් මම සොබාදහම දිහා බැලූවෙ ප‍්‍රශ්නකාරීව. මේ පුරුද්ද නිසා ඕනෑම දෙයක් දිහා මට වෙනස් ඇහැකින් බලන්න පුළුවන් වුණා. මේනිසා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම මට අමුත්තක් වුණා.
ඊළඟට මමත් කවි ලියන්න පටන් ගත්තා. මම නිතර දකින වැස්ස ගැන, වතුර ගැන, මගෙ ඇෙඟ් දැවටෙන හුරතල් පූස් පැටියා ගැන, බලූ පැටියා ගැන, වෙලේ කැලේ දුවන පනින වහු පැටියා ගැන, ගහ ගැන, ඉර ගැන, හඳ ගැන මම කවි ලිව්වා. ඔය කවි මම අම්මාට පෙන්නුවා. ඉස්කෝලෙ ගුරුවරුන්ට පෙන්නුවා. මේ නිසා ගුරුවරු මාව අඳුනගත්තෙ ටිකක් වෙනස් ළමයෙක් විදිහට. හැබැයි මේ ගුරුවරු මාව දිරිගැන්නුවා.
මගෙ ගම දඹදෙනියෙ-පොතුපිටිය. බොහොම ලස්සන පිටිසර ගමක්. පහේ ශිෂ්‍යත්ව විභාගෙ පාස්වුණාට පස්සෙ මම ගියා ජාතික පාසලට. ඔය කාලෙ මම කවියට හරිම ආදරෙයි. මගෙ පංතියට අදාළ නැතත් විමලරත්න කුමාරගමගෙ, පී.බී. අල්විස් පෙරේරාගේ, කේයස්ගේ, කුඩලිගමගෙ කවි පොත් අරගෙන මම හරිම ආශාවෙන් රසවින්දා.
ඊට පස්සේ මම ලියන කවි පත්තරවලට යවන්න පුරුදු වුණා. ඔය කාලෙ අපේ ගෙදරට ගත්තෙ බුදුසරණ පත්තරේ. මම ඉතින් එක එක මාතෘකා යටතේ කවි ලිව්වා. කිසාගෝතමී කියලා මම ලියපු කවිපංතිය දවසක්දා බුදුසරණ පත්තරේ පළවෙලා තිබුණා. සෝමරත්න දිසානායක කියන නම ඉස්ඉස්සෙල්ලාම අච්චු අකුරින් හරිම ලස්සනට පළවෙලා තියෙනවා දැකපුවාම මට හරිම ආසා හිතුණා. මම මේ පත්තරේ අරගෙන අම්මා ගාවට ගියා. නැන්ද මාමා පන්සලේ හාමුදුරුවො ගමේ ගොඬේ දන්න අඳුනන හැමෝම ළඟට ගිහින් පෙන්නුවා. ඊට පස්සෙ ස්කෝලෙ ළමයින්ට ගුරුවරුන්ට. සෝමරත්න ළමයගෙ කවියක් පත්තරේ පළවෙලා කියලා ස්කෝලෙ පුරාත් ගියා. දැන් මම ගමේ ප‍්‍රසිද්ධයි. කාටහරි පිළිගැනීමේ ගීතයක් එහෙම ඕනෑවුණොත් එන්නෙ මා ළඟට. ඔන්න ඉතින් දවසක්දා දහම් පාසලේ උත්සවකයකදී පිළිගැනීමේ ගීතයක් ඕනෙ වුණා. ඒ්කත් ලිව්වෙ මම. ගමේ ස්කෝලෙ විදුහල්පතිතුමා මියගියා. ශෝක ප‍්‍රකාශය ලිව්වෙ මම.
සෝමරත්න දිසානායක කවියකු මෙන්ම ගීත රචකයකු ලෙස කුසලතා පළකරමින් සිටියි. මේ ඉලන්දාරියා අතින් ජාතික තලයට ගිය ගීතයක් නිර්මාණය වූයේ කවදාද යන කුහුල මසිතෙහි පැනනැගේ. මම ඔහුගෙන් ඒ පිළිබඳව විමසිමි.
1988 අවුරුද්දෙදි පුංචි පැටව් කියන ටලිනාට්‍යයට මම ගීතයක් ලිව්වා.
මල් කැකුලූ පොකුරු වාගෙයි
අපි පුංචි පැටව් යාලූයි
අපි යාලූයි අපි යාලූයි
හැමදාමත් අපි යාලූයි
මේ ගීතය ගායනා කළේ එඞ්වඞ් ජයකොඩියි, චරිතා ප‍්‍රියදර්ශනියි. මේ දෙන්නා හරිම ලස්සනට මේ ගීතය ගායනා කළා. ඒක ළමයින්ගෙ සිත්වල හරිම ආදරණීය විදිහට තැන්පත් වුණා. කොයිතරම්ද කියනවනම්, මේ ගීතය අදටත් විටින්විට ඇහෙනවා. ළමයින්ගෙ ප‍්‍රසංගයක් තිබුණොත් මේ ගීතය ගැයෙන අවස්ථා තියෙනවා.
ඊට පස්සෙ මම සිංදු ගොඩක් ලිව්වා. මං නිර්මාණය කරන චිත‍්‍රපටවලත්, ටෙලිනාට්‍යවලත් අදාළ ගීත හැම එකම වගේ ලිව්වෙ මමයි. අවසඳ, සුවඳ කැකුලූ, ඉටිපහන් කියන ටෙලිනාට්‍ය මී පුර වැසියෝ වේදිකා නාට්‍යය තේමා ගීත මගෙයි.
ගසක වැලක මල් පිපුනේ
සඳක සිසිල පිළිසිඳුනේ
ලොවක කුලූණු ගුණ මැවුනේ
මවක සෙනෙහෙ අනුහසිනේ
සුවඳ කැකුළු ටෙලිනාට්‍යයට මම ලියපු මේ ගීතයට සම්මානත් හිමිවුණා. හොඳම ගීත රචකයා විදිහට මටත්, හොඳම ගායකයා විදිහට එඞ්වඞ් ජයකොඩිටත්, හොඳම සංගීතඥයා විදිහට රෝහණ වීරසිංහටත් එදා සම්මාන හිමි වුණා.
එතකොට ඉටිපහන් ටෙලි නාට්‍යයට මම ලියපු,
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා
දැවි දැවි නිවෙනා
ඉටි පහනක් දෝ මා
ගීතයටත් මට හොඳම ගීත රචනය වෙනුවෙන් සම්මානයක් හිමිවුණා. මේ ගීතය ගායනා කළේ විශාරද නන්දා මාලනියයි. සංගීතවත් කළේ රෝහණ වීරසිංහ.
එතකොට ඔබ ගීත රචනා කළ චිත‍්‍රපටි මොනවද?
මම අපි නොදන්න සෝමරත්න ගැන තවත් මොනවා හෝ දැනගන්න අදහසින් විමසුවෙමි.
සරෝජා, පුංචි සුරංගනාවි, සූරිය අරණ, සමනල තටු, සිරි රජසිරි, බිංදු, සිරිපැරකුම්, සරිගම, ඔය ඔක්කොම මම අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපටි. මගේ නොවන චිත‍්‍රපටි කීපයකටත් මම ගීත රචනා කරල තියෙනවා. තුන්පත් ?න සහ බරතලී කියන චිත‍්‍රපට දෙකත් ඒ අතර තියෙනවා.
මේ දිනවල දිවයින පුරා සිනමාශාලා ගණනාවක ප‍්‍රදර්ශනය වන සරිගම චිත‍්‍රපටයට අයත් ගීත ඇතුළත් සංගත තැටියක් පසුගියදා උත්සවශ්‍රීයෙන් නිකුත් වූ බව මට මතකය. එම තැටිය ගී දහතුනකින් යුක්තවන අතර ඒ ගී සියල්ල ලියැවුණේ සෝමරත්න දිසානායකගේ පන්හිඳෙනි. ඉතින් ඒ ගැන නොඅසා අප නොදන්න සෝමරත්න ගැන හරිහැටි දැනගන්නට හැකිකමක් නැත.
සමනලයින් පාට පාට
කනාමැදිරියො රෑට රෑට
සිනිඳු වළා ඈත ඈත
හරි සොඳුරුයි සැමදාම
ඔය ගීතය චිත‍්‍රපටියෙ කියන්නෙ පූජා උමාශංකර්. ඒත් ඒ ගීතයට හඬ දුන්නේ උරේෂා රවිහාරි. උරේෂා බොහොම ලස්සනට මේ ගීතයට ජීවය දෙනවා. ඒ වගේම තමයි නන්දා මාලනිය ගයන මේ ගීතයත්,
ගිරිකුල පාමුල සිට
බිය නොවන්න දැක ගිරි හිස
කටු ලඳු දුරු මග පසුකොට
නගින්න ගිරි මුදුනට
බලන්න ඔබ ආ මග
කොතරම් සොඳුරුද
කෙතරම් කටුකද?
සරිගම චිත‍්‍රපටයෙ රඟපාන ප‍්‍රධාන මවුතුමිය දෙන ඔවදනයි මේ.
ඔය වගේ ගීත මහ ගොඩක් මගේ අතින් මේ වනවිට ලියවිලා තියෙනවා. විවිධ අරුත්, විවිධ තේමාවන් යටතේ ලියූ මේ ගීතවලට ලැබුණු රසික ප‍්‍රතිචාරත් මහ ගොඩක් තියෙනවා.
චිත‍්‍රපට අධ්‍යක්ෂවරයා තුළ සැඟව සිටින මේ අපූරු ගීත රචකයා තමා ලියූ මනරම් ගීතාවලිය ගැන එසේ කතා කළේ සතුටිනි.
ශාන්ත කුමාර විතාන

