රොමේෂ් මධුෂංඛ
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවළේ කළ කැණීම් අනුව ඊයේ (30) දිනය අවසානය වනවිට කුඩා ළමුන්ගේ බවට සැක කෙරෙන සිරුරු කොටස් 12 ක් ද සම්පූර්ණ සිරුරු 114 ක් ද හමුවී ඇතැයි ඒ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම් සමූහ මිනිස් වළේ කැණීම් කටයුතු ආරම්භ කර අදට (31) දින 62 කි. කුඩා ළමුන්ගේ සිරුරු කොටස් ප්‍රමාණය දෙවනුව කරන විශ්ලේෂණයෙන් පසු වෙනස් විය හැකි බවත්, මේ වන විට කෙරෙන මූලික කැණීම් වලදී ළමුන්ගේ බවට සැකකෙරෙන සිරුරු අස්ථි කොටස් 12 ක් සොයාගෙන ඇති බවත්, සම්පූර්ණ විශ්ලේෂණයකින් පසු ඒ පිළිබඳව අවසන් තීරණයකට එළඹෙන බවත් ඒ මහතා කියා සිටියේය.
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසූවේ වළ තුළින් ගොඩගත් සිරුරු 114 න් සිරුරු 108 කට අදාළ අස්ථි සිය භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කර ඇති බවයි. ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂණයක් වෙනුවෙන් කැලිෆෝනියාවේ කාබන් පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් වෙත යැවීමට ද නියමිතය.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබී මාර්තු 26 වැනි දා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් පසු අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ ආරම්භ විය.
මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව මහේස්ත්‍රාත් ඒ. ජී. ඇලෙක්ස් රාජා මහතාගේ නියෝගය යටතේ පුරාවිද්‍යා නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් මෙම කැණීම් පරීක්ෂාවේ කටයුතු ඇරැඹිණි.
වර්තමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.ජී. ප්‍රභාකරන් මහතාගේ නියෝගය යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ්. සෝමදේව මහතා, විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිලධාරීන්, මන්නාරම අධිකරණ නිලධාරීන් යන සැමගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ කෙරෙමින් පවතී.



