මන්ත්‍රීවරියකගේ ආධාරකරුවන් පිරිසක් සිදුකළ පහරදීමකින් දෙදෙනෙක් රෝහලේ


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

පල්ලෙවෙල වේරගොඩ මාර්ගයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමඟ සිටි ආධාරකරුවන්ගේ ප්‍රහාරයකට ලක්වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අද (16) රාත්‍රී වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති බව වේයන්ගොඩ පොලිසිය පැවසීය.

මෙසේ රෝහල් ගතකර ඇත්තේ කුඹල්ඔළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පිළිගැනීමේ උත්සවයක් කුඹල්ඔලුව ප්‍රදේශයේ පැවති බවත් එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ඊට බාධා කර ඇති බවත් පොලිසිය පැවසීය.

මන්ත්‍රීවරිය ඇතුළු පිරිස පිටව යන අවස්ථාවේදී  පළමුව පැමිණි පුද්ගලයා තවත් අයකු සමඟ මහා මාර්ගයේදී මන්ත්‍රීවරියගේ ගමනට බාධා කළ අවස්ථාවේ මෙම සිදුවීම සිදුවී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලිසිය සඳහන් කළේය.

තමන්ට සිදු වූ බාධා කිරීම හා තර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියද වේයන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය පැවසීය.