සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක චන්දිම වීරක්කොඩි මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බඳවා නොගන්නා ලෙස එම පක්ෂ නායකත්වයෙන් ඉල්ලා සිටිමේ උද්ඝෝෂණයක් අද (2) හබරාදුව නගරයේ දී පැවැත්විණි.
දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ඒ ජි සි පියසිරි, ශම්මු ආරියවංශ, ක්‍රිෂාන්ත පුෂ්පකුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ, ඉමදුව ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ වී සරත්කුමාර, හබරාදුව ප්‍රාදේශීය සභාවේ උප සභාපති බන්දුපාල අබේකෝන් යන මහත්වරුන් ද හබරාදුව සහ ඉමදුව ප්‍රාදේශීය සභා දෙකේ පොදුජන පෙරමුණේ සියලුම මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් මෙම උද්ඝෝණයට සහභාගී වී සිටියහ.
“ ඇයි චන්දිම අඩන්නේ අපි මොනවද කරන්නේ” “මහින්ද හොද වුණේ ඡන්දෙන් පස්සෙද?” “චන්දිමගේ දේශපාලන ගමනේ මළගම අදයි” “හබරාදුව ජනතාව ගොනාට අන්දපු කාලේ ඉවරයි” ආදී සටන් පාඨ කියමින් හබරාදුව ප්‍රාදේශීය සභාව අසල සිට ගාල්ල මාතර මහා මාර්ගය ඔස්සේ බස් නැවතුම්පොළ දක්වා ගමන් කළ උද්ඝෝෂකයෝ එහිදි පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ යෙදී සිට සාමකාමීව විසිර ගියහ.
මේ අතර එම අවස්ථාවේ ඒ අසල පිහිටි හබරාදුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී හිටපු ඇමැතිවරයකු වන සුසිල් ප්‍රේම ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක් පැවැත්විණි.
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා විසින් මෙම රැස්විම සංවිධානය කර තිබුණි. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන අනුරාධ ජයරත්න මහතාද මෙම රැස්වීමට සහභාගී වුහ.



