මධ්‍යම සංස්කෘතික අරමුදලේ බිලියන 11 ක වංචාවක්


(අජන්ත කුමාර අගලකඩ)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ 2016 සිට 2019 දක්වා කාලය තුළ රුපියල් කෝටි 1,100 ක පමණ (රුපියල් මිලියන 11,059) මූල්‍ය වංචාවක් සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටුවක් සිය වාර්තාවෙන් පවත්වා දී ඇත.

පිටු 142 කින් සමන්විත එම කමිටු වාර්තාව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අරලිය ගහ මන්දිරයේදී අද (28) බාර දෙනු ලැබීය.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ඉකුත් 2016 සිට 2019 දක්වා කාලය තුළ සිදුවූ අක්‍රමිකතා සහ මූල්‍ය අවභාවිතය සම්බන්ධයෙන් සොයා බැලීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ගාමිණි සරත් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් මීට මාස කිහිපයකට ඉහතදී පත්කරනු ලැබීය.

හිටපු අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය ජයරත්න සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ හරිගුප්තා රෝහණධීර යන මහත්වරු එහි සෙසු සාමාජිකයෝ වූහ.

නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනීම හා තැන්පතු පොලී ආදායම අහිමිවීමෙන් රුපියල් කෝටි 260 ක් පමණ ද (රුපියල් මිලියන 2,608) බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා තනතුරු සඳහා බඳවා ගැනීම වැටුප්  හා දීමනා ලෙස ගෙවීමෙන් රුපියල් කෝටි 306 ක් පමණ ද රුපියල් මිලියන 3,060 විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික හා ආගමික ආධාර හා ප්‍රදාන ලෙස ලබාදීමෙන් රුපියල් කෝටි 231 ක් පමණද (රුපියල් මිලියන 2316 ) ක් ආවභාවිත වී ඇතැයි ත්‍රිපුද්ගල කමිටු වාර්තාවේ සඳහන් කර ඇත.

තීත්‍යානුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවන දහම් පාසල් ගොඩනැගිලි ඉදිකිරීමට රුපියල් කෝටි 75 ක මුදලක් (රුපියල් මිලියන 753) ක් ගෙවා ඇති අතර අරමුදලේ සංචාරක ප්‍රවේශ පත්‍රවල ඩොලර් ආදායම රුපියල් වලට පරිවර්තනය කිරීමේදී රුපියල් හාර කෝටි අසූ ලක්ෂයක (රුපියල් මිලියන 48) ක අලාභයක් සිදුව ඇතැයිද වාර්තාවෙන් පෙන්වා දී ඇත.

 

පුරාවිද්‍යාභාරය සඳහා නියමිත දායකත්ව මුදල නොගෙවා නීති විරෝධීව වෙනත් කටයුතු සඳහා රුපියල් කෝටි 226 ක ( රුපියල් මිලියන 2,266) මුදලක් වැය කර ඇති අතර අපේ ගම ව්‍යපෘතියේ දේපල පැවරීමේදී රුපියල් ලක්ෂ 80 ක අලාභයක් සිදුව ඇතැයිද කමිටු වාර්තාව සඳහන් කරයි.

 

මේ අතර මධ්‍යම සංස්කෘතික අරමුදල සතු  ඩොලර් ගිණුමෙන් නීති විරෝධීව මුදල් නිදහස් කරගෙන ඇතැයිද ඉකුත් ජනාධිපතිවරණ සමයේදී අරමුදලේ ස්ථාවර ගිණුමෙන් රුපියල් කෝටි 40 ක් ( රුපියල් මිලියන 400 ක් ) කිසිදු අනුමැතියකින් තොරව නිදහස් කර ඇතැයිද වාර්තාවේ සඳහන් වේ.

 

මධ්‍යම සංස්කෘතික අරමුදල මහා භාණ්ඩාගාරයේ ඇනුමැතියකින් තොරව ජංගම ගිණුම් 25 ක් ආරම්භ කර ඇතැයි ද මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් උපාංග මිලදී ගැනීම් විදේශ ව්‍යාපෘතිවල මුදල් ගිණුම්ගත කිරීමේ දෝෂ ඇතැයිද වාර්තාවේ සඳහන් වේ.

 

මේ අතර ගෙවීම් සම්බන්ධයෙන් බැහැරව මුදල් ගෙවීම සඳහා පසුව ලේඛන සකස් කර ඇති බව අනාවරණය වී ඇතැයිද කමිටු වාර්තාවේ සඳහන් වේ.

 

ඉකුත් 2019 වසරේදී කළ අවිධිමත් වියදම්  පියවා ගැනීමට පසුගිය වසරේ නොවැම්බර් මස 15 වැනිදා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා ඇති අතර ඊට සහභාගි වී ඇත්තේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් 5 දෙනෙකු වුවද සහභාගි නොවූ සාමාජිකයන්ගේද අත්සන් ලබා ගෙන ඇතැයිද කමිටු වාර්තාවේ සඳහන් වන බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

 

මෙම තත්ත්වය තුළ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ නීත්‍යානුකූලභාවය සම්බන්ධයෙන් ගැටලුවක් මතුවන බැවින් සාමාජික අත්සන් තහවුරු කර ගැනීම සඳහා බවට කමිටුව නිර්දේශ කර ඇතැයි ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

 

කමිටු වාර්තාව අගමැතිවරයාට බාරදීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් , අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න සහ ගනේෂ් ධර්මවර්ධන යන මහත්වරුද සහභාගි වූහ.