මතුගම තරුණයෙක් ඩෙංගු මරුවෙක් හදයි


ඩෙංගු මදුරුවන් ඇතුළු සියළු මදුරුවන් නසන කුඩා උකරණයක් නිර්මාණය කළ පානදුර ඇඟළුම් කම්හල් සේවකයෝ කොළඹ බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ මුල් පරීක්ෂණ දෙකෙන්ම සමත්වී සිටිති. රුපියල් තුන්සියයක් වැනි මුදලකට හදාගත් මේ උපකරණය නිර්මාණයට මතුගම හිරිකැටියේ පසිඳු සුදම්මිත් (26) මූලික විය. තවත් සිව් දෙනෙක් ඔහුට උදව් කරති. ශාකසාර සහ රසායන යොදා ගනිමින් ප්ලාස්ටික් උපකරණයක මිනිස් ලේවල සුවඳට සමාන සුවඳක් විහිදුවන මේ උපකරණය සබන් පෙට්ටියක ප‍්‍රමාණයේ ප්ලාස්ටික් ඇසුරුමකි. ශාක සාර හා රසායන කිහිපයකින් ලේ සුවඳ ගනියි. එක් උපකරණයක ආයු කාලය තුන් මාසයක් පමණ වෙයි. මදුරුවන් පළවා හැරීමේ ශාකසාර ක‍්‍රීම් වර්ගයක් සොයාගත් ඔහු එය වායු සුගන්ධකයක් බවට පත් කිරීමට පරීක්ෂණ කරගෙන යයි. ඔහුගේ මේ උත්සාහය අගය කරන පානදුර කර්මාන්තපුරයේ ටෙ‍්‍රන්ඞ් සෙටර්ස් ඇඟළුම් කම්හල ඔහුට උසස්වීමක්ද දී උපහාරයක්ද පැවැත්වීමට යයි.