මත්ස්‍ය අපනයනවලට තහනමක් වැටීමේ අවදානමක්


(හර්ෂණ තුෂාර සිල්වා)
 
ධීවර කර්මාන්තයේදී බහුදින ධීවර යාත්‍රා  භාවිත කරන මරුවැල් හෙවත් ලෝන්ග් ලයින්  ධීවර පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට මෙරට ධීවර ප්‍රජාව පියවර නොගතහොත් ඉදිරි කාලය තුළ මෙරට මත්ස්‍ය අපනයනවලට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් තහනමක් පැනවීමේ අවදානමක් මතු වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
 
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඩොල්ෆින් මසුන් ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් පියවර ගන්නැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ද එම අමාත්‍යාංශය කියයි. 
 
මරුවැල් පන්න ක්‍රමයේදී යොදා ගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ෂණය වීම වැළැක්වීමේ නව උපාංගයක් මේ වන විට ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේදී භාවිත කෙරෙන බවත් එම උපාංගය මෙරටට ආනයනය කටයුතු කරන බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි. 
 
මේ අතර පසුගිය දිනෙක දැනට පවත්නා දැල් මත්ස්‍ය පන්න ක්‍රමය වෙනුවට මරුවැල් මත්ස්‍ය පන්න ක්‍රමය ප්‍රවර්ධනය කටයුතු කරන බවද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය නිවේදනය කළේය. 
 
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත මත්ස්‍ය අපනයනවලින් සියයට 29ක් හෙවත් මෙටි්‍රක් ටොන් 4088 මිලදී ගෙන ඇත්තේ ද ඇමෙරිකා එක්සත් ජනපදය යැයි ද දත්ත වාර්තා සඳහන් කරයි.