(නිමන්ති රණසිංහ)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රා තබනු ලැබ ඇති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාන්ඩ කාමරයේ ඇති හෙරොයින් මත්ද්‍රව්‍ය පරීක්ෂා කර බලා අධිකරණය වෙත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය රජයේ රස පරීක්ෂකවරයා වෙත අද (08) නියෝග කළාය.
ඒ අනුව කොළඹ 01 නව මහලේකම් ගොඩනැගිල්ලේ 3 වන මහලේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නඩු භාණ්ඩ කාමරය හෙට (09) පෙරවරුවේ පරීක්ෂාවට ලක්කරන ලෙසට අධිකරණයෙන් රජයේ රස පරික්ෂකවරයා වෙත නියම කළේය.
මෙම ස්ථානයේ ඇති නඩු භාණ්ඩවල මුද්‍රා කඩා තිබුණේද? ඒවාට ආගන්තුක ද්‍රව්‍යයක් මිශ්‍ර කර තිබේද? එසේ මිශ්‍ර කර තිබේනම් ඒ මොනවාද? විෂ මත්ද්‍රව්‍ය අඩංගු ඒවාවල ආවරණ කඩා නැවත පාර්සල් කර ඇද්ද? පසුව නැවත ඒවා සිල් කර ඇද්ද? සහ වෙනත් නිගමනයන් මොනවාද වශයෙන් කරුණු 06 කින් සමන්විත ප්‍රශ්නාවලියකට පිළිතුරු සපයා මෙම වාර්තාව සපයන ලෙසට ද මෙහිදී අධිකරණය රජයේ රස පරීක්ෂකවරයා වෙත දැනුම් දුන්නේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම නඩු භාණ්ඩ කාමරයට මුද්‍රා තබා එහි භාරකරු අත්අංඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 28 වැනිදාය.
එහි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 700 ක් පමණ ඇති බවට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා වාර්තාවක් මගින් දැනුම් දී ඇති බව මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.

