මත්තල ගුවන්තොටුපොළ කිසි විටෙක වසා නොදමන බවත් එහි වැඩි දියණු කළ යුතු අංශ පිළිබඳ පර්යේෂණ වාර්තාවක් සකස් කිරීමෙන් අනතුරුව එය අවශ්‍ය පරිදි සංවර්ධනය කරන බවත් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා ආබේවර්ධන මහතා පැවසීය.
අමාත්‍යවරයා එසේ පැවසුවේ අද දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි.
කෙසේ වෙතත් මේ වන විට මත්තලට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානාවක් පමණක් දිනපතා පැමිණෙයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
‘‘ පහුගිය කාලයේ රාජ්‍ය ආයතන සහ අමාත්‍යංශ අතර දුරස්ථ භාවයක් තිබුනා. එහෙම වැඩ කරන්න බැහැ. මේ ආයතන සමාගම් වුනාට කොටස්කාරයෝ නැහැ. මෙහි කොටස් සියල්ලම භාණ්ඩාගාරය සතුයි. භාණ්ඩාගාරය කියන්නේ රජය. රජයේ වගකීම පාර්ලිමේන්තුවට උත්තර බඳින එක. ඒ නිසා මේ ආයතන අමාත්‍යංශය එක්ක එකතු වෙලා වැඩ කළ යුතුයි.
ලබන මාසෙ වෙනකොට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දෙවන අදියර සංවර්ධනය අපි ආරම්භ කරනවා. ගුවන්තොටුපොළ භාවිතා කරන ගුවන් මගීන්ට පහසුකම් තිබිය යුතුයි. දෙවන අදියර සම්පුර්ණ වෙනකොට ගුවන්තොටුපොළේ වෙනසක් ඇතිවෙයි.
පහුගිය අවුරුදු කිහිපය තුළත් ගුවන්තොටුපොළ වෙනස් වෙලා තියෙනවා. ඒක තමයි සංවර්ධනය කියන්නේ. නමුත් ඒ සංවර්ධනය ජනතාවට අවශ්‍ය විදියට විය යුතුයි. ගුවන්සේවා අධිකාරියත්, අමාත්‍යංශ මේ සේරම එකට එකතු වෙලා වැඩ කර පුළුල් ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරන්න අනාගතයේදී කටයුතු කරනවා.
පහුගිය කාලේ අපි හඳුනාගත්ත අඩුපාඩු අපිට පැහැදිලි උන දේවල් නිවරදි කරගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
රටක අනන්‍යතාවය පළමුවෙන්ම පෙන්වන තැන ගුවන්තොටුපොළ. අපේ රට ලෝකයේ තියෙන හොඳම ගමනාන්තයක්. ගුවන්තොටුපොළ සංවර්ධනයත් එක්ක මෙතනට එන විදේශිකයින්ට ඉහළම අයුරින් පහසුකම් විඳින්න පුළුවන්.‘‘








