මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් කිරීමට ඇමති සැලැස්මක් ඉල්ලයි


(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ක්‍රියාකාරී ගුවන්තොටුපොළක් බවට කඩිනමින් පත් කිරීම සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළු හා ඊට අදාළ විසඳුම් ඇතුළත් ක්‍රියාකාරී සැලැස්මක් වහාම තමන් වෙත ලබා දෙන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගුවන්තොටුපොළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
සංචාරක සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් සමග ඉදිරි කටයුතු පිළිබඳව පැවති සාකච්ඡාවේදි ඇමතිවරයා මේ උපදෙස් දුන්නේය.
 
2018 වර්ෂයේදි මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිදුවූ ගුවන් ගමන් මෙහෙයුම් සංඛ්‍යාව 709 ක් වන අතර ඉන් 334ක් ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් බවත් 375 අභ්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් බවත් මෙම සාකච්ඡාවේදි අනාවරණය විය. එය 2017 වර්ෂයට වඩා 50%ක අඩුවීමකි.
 
මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ හරහා 2018 වර්ෂයේදි ගුවන් මගීන් 3403 පැමිණ තිබේ. එය 2017 වර්ෂයට සාපේක්ෂව 85%ක අඩුවීමක් බවද මෙහිදී අනාවරණය විය. 2017 වර්ෂයේදි කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් පථය වසා දැමීම හේතුවෙන් කටුනායක පැමිණි ගුවන්යානා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ හරවා යැවීම නිසා ඒ වසරේ එ ගුවන්යානා පැමිණිම ඉහල මට්ටමක පැවති බව නිලධාරීහු මෙහිදී ඇමතිවරයාට පෙන්වා දුන්හ.
 
කෙසේ වෙතත් 2019 මුල් මාස 8 තුළ මත්තල රාජපකෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් යානා මෙහෙයුම් 645 සිදුව ඇති අතර මගීන් 1297 ක් පැමිණ තිබේ. මෙම මාස කිහිපය තුළ මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා කිසිවක් පැමිණ තැත.
 
පසුගිය රජය යටතේ වී ගබඩා කිරීම නිසා මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළට සිදුවූ හානිය මෙන්ම පසුගිය රජයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ගුවන්තොටුපොළේ සියෙලු අංශවලට සිදුව ඇති හානිය පිළිබඳ පූර්ණ වර්තාවක් තමන්ට ලබා දෙන ලෙස ඇමතිවරයා මෙහිදී නියෝග කළේය.