( තිළිණි ද සිල්වා )
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් ගමන් හා අනෙකුත් මෙයෙහුම් කඩිනමින් ආරම්භ කරන ලෙස කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සිය අමාත්‍යාංශ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි එම අමාත්‍යාංශය සදහන් කරයි.
ඒ අනුව මුලින්ම මත්තල ගුවන් තොටුපළේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් මෙහෙයුම් ඇරඹිමටත් , ඒ අතරතුර සෙසු ජාත්‍යන්තර ගුවන් සමාගම් සමගද සාකච්ඡා කර එම සමාගම් වල ගුවන් යානා මත්තලට ගෙන්වා ගැනිමට වැඩ පිළිවෙලක් සකස් කරන ලෙසත් ඇමතිවරයා ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ බලධාරින්ට උපදෙස් දෙන ලදී.
මතත්ල රාජපක්ෂ ජත්‍යන්තර ගුවන් තොටුපල ක්‍රියාත්මක ගුවන් තොටුපලක් බවට පත් කිරීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා හා ගුවන් තොටුපල බලධාරින් අතර පසුගිය සිකුරාදා (08) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
එහිදී වැඩිදුරටත් ඇමතිවරයා කීවේ ඉතා ඉක්මණින් මත්තල ක්‍රියාත්මක ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට පත් කිරීම රජයේ අපේක්ෂාව බවය.
මත්තලට පැමිනෙන ගුවන් සමාගම් සදහා ගුවන් තොටුපළ සේවා ගාස්තු වෙනුවෙන් සහන ලබා දිම පිළිබඳවද මෙහි දි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා කැබනට් අනුමැතිය ද ලබා ගැනිමට පියවර ගන්නා බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේය.
මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිතව ගුවන් යානා අලුත්වැඩියා අංගනයක්, පුහුණු පාසලක් ආරම්භ කිරිමට ද මෙහි දි යෝජනා වු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ඉංජිනේරු සංගමය ඇමතිවරයා සමඟ කළ සාකච්ඡාවක දි මෙම අලුත්වැඩියා අංගනය ඉදි කර පවත්වාගෙන යාමට කැමැත්ත පළ කර තිබිණි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඊට අදාළ යෝජනාව ලැබුණු වහා ම ඒ සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරිමට පියවර ගන්නා බවයි.
පසුගිය මහින්ද රාජපක්ෂ රජය යටතේ හදුන්වා දුන් හම්බන්තොට සංවර්ධන සැලැස්ම නැවත ක්‍රියාත්මක කිරිමටත් හම්බන්තොට වරාය හා ගුවන් තොටුපළ අතර ඒකාබද්ධ මගී හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබද ව සොයා බැලිමටත් මෙම සාකච්ඡාවේ දි තීරණය කෙරිණ.
මත්තල ගුවන් තොටුපළ ආශ්‍රිතව ආයෝජන කලාපයක් ඉදිරිකිරිමටත් අවධානය යොමු ව ඇතැයි මෙහි දි පෙන්වා දුන් ඇමතිවරයා එය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයේ රට හදන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිමය වැඩසටහන මහින්ද යොජනා කර ඇතැයි කීවේය.
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ 2015 ට පෙර ක්‍රියාත්මක තත්ත්වයේ පැවති අතර ශ්‍රී ලංකන්, ඩුබායි, අරාබි වැනි ගුවන් සමාගම් වල ගුවන් මෙහෙයුම් එහි ක්‍රියාත්මක විය. එහෙත් 2015 යහපාලන රජය පත්වීමත් සමග එම ගුවන් යානා මත්තලට පැමිණීම නතර කර දැමිණි. 2014 දි ගුවන් මගීන් 40,386 ක් මත්තල ගුවන් තොටුපලින් සේවාව ලබා ගෙන ඇති අතර 2019 දි එම සංඛ්‍යාව 1536ක් විය.
2014 දි මෙට්‍රික් ටොන් 214 ක භාණ්ඩ මෙහෙයුම් මත්තල ගුවන් තොටුපල මගින් සිදු කර තිබේ. එහෙත් පසුගිය වසරේ මත්තල ගුවන් තොටුපළේ භාණ්ඩ මෙහෙයුම් කිසිවක් සිදු නොවු බව ද මෙහිදී අනාවරණය වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

