මඩකලපුවේ මත්පැන් නිෂ්පාදනාගාරයට අවසර ලැබුණ හැටි සොයයි


රජයේ ප්‍රතිපත්තිවලට පටහැනිව මඩකලපුවේ මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට අවසර ලැබීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වෙන කාර්ය සාධක බලකාය මුදල් අමාත්‍යංශයෙන් විමසා ඇතැයි වාර්තා වේ.

මත්‍ද්‍රව්‍ය නිවාරණය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ය.

කල්කුඩාහී ඉදිකෙරෙන මෙම මත්පැන් නිෂ්පාදනාගාරයට අවසර දී ඇත්තේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තිය උල්ලංඝණය කරමිනි. එබැවින් ඊට  අනුමැතිය ලබාගත් අකාරය පැහැදිලි කරන ලෙස ජනාධිපති කාර්ය සාධක බලකාය මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට දන්වා ඇත.

ඩබ්ලිව්.එම් මෙන්ඩිස් සහ සමාගමට මෙම නිෂ්පාදනාගාරය ඉදිකිරීමට අවසර ලැබුණේ කෙසේද යන්න වාර්තාවක් ලබා දෙන ලෙස ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ සමන්ත කුමාර කිතලාවආරච්චි මහතා මුදල් අමාත්‍යංශ ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතාට දැනුම් දී තිබේ.

ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අර්ජුන් ඇලෝසියස් මහතාට අයිති එකකි. අර්ජුන් ඇලෝසියස් මහතා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ බැණා වෙයි. බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මහේන්ද්‍රන් මහතාට අදාළව පරීක්ෂණයක් මේ වන විට කෙරෙමින් පවතී.

රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සුරාබදු දෙපාර්තමේන්තුව අදාළ ආයතනයට පසුගිය වසරේදී ධාන්‍ය මත පදනම් වූ මත්පැන් නිෂ්පාදනාගාරයක් ඉදිකිරීමට අවසර ලබා දුනනේය.එම අමාත්‍යංශ දෙකම මුදල් අමාත්‍යංශය යටතේ තිබිණි.එම අමාත්‍යංශය ඒ වන විට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ මෙහෙයවීම යටතේ තිබිණි.

“දුම්කොළ සහ මත්පැන් නිෂ්පාදනාගාරයක් අලුතෙන් ඉදිකිරීම සඳහා කිසිසේත්ම නව බලපත්‍ර ලබා දිය නොහැක“ යැයි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ ප්‍රතිපත්තියේ සඳහන් වෙයි.