මගුරු ගඟේදී ඔරුව පෙරළී අඹු සැමි යුවළ අතුරුදන්


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නයනදුල සෙන්දනායක)
 
මගුරු ගඟ හරහා ඔරුවකින් යමින් සිටි තරුණ අඹු සැමි යුවළක් අද(23) ඔරුව පෙරළී අතුරුදන්ව ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
 
මෙලෙස අතුරුදන්ව ඇත්තේ බදුරලිය, මෝල්කාව පදිංචිව සිටි, බුලත්සිංහල ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන එම්. ඩී. ලයනල් නමැති 20 හැවිරිදි  සහ 21 හැවිරිදි එරන්දිකා අඹුසැමි යුවළකි.
 
එම අඹුසැමි යුවළ තවත් පුද්ගලයන් හත්දෙනෙකු සමඟ බුලත්සිංහල ඉහළ වෙල්ගම ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නැරඹීමට ගොස් යළි නිවස කරා යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි. ඔවුන් සංගීත සන්දර්ශනය නැරඹීමටද ඔරුවෙන් ගඟ තරණය කර පැමිණි ඇතැයි අනාවරණය වී ඇත.
 
ගඟ මැදදි සැඬ පහරකට හසුවී ඔරුව පෙරළී ඇතැයිද පොලිසිය කියයි.

අතුරුදන් වූ අඹුසැමි යුවළ සොයා තවදුරටත් විමර්ශන පවත්වන බව බුලත්සිංහල පොලිසිය පවසයි.