
(බී.ජී. චතුරංග)
‘‘අපි මුල ඉදලම කිව්වා බුද්ධ පුත්‍රයන්ට කතිරයෙන් උපස්ථාන කරන්න එපා කියලා.ඒ අයට ශාසනයට වඩා වටින්නේ ආසනය. හැබැයි එක ආසනයක්වත් ගන්න පුළුවන් වෙන විදිහට කතිරයෙන් මෙවර ජනතාව උදව් කරල තිබුණෙ නැහැ. හැම දිස්ත්‍රික්කයකින්ම අහුල ගත්ත ඡන්ද හැටහත්දාහකින් පමණ එක මන්ත්‍රීධූරයක් ලැබිලා තිබෙනවා. මා දන්නා තරමට ත්‍රි පුද්ගල හෝ සිව් පුද්ගල සටනක් ක්‍රියාත්මක වෙනවා එම මන්ත්‍රීධූරය ලබා ගන්න හරිම කණගාටුයි. මන්ත්‍රී ආසනයකට මේ අය කුලල් කා ගන්නවා‘‘ යැයි මිහින්තලේ රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ අද (16) පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී උන්වහන්සේ මෙසේද පැවසූහ.
‘‘මීට කලින් ඔය භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා මොනවද කරලා තියෙන්නේ. පහුගිය කාල වකවානුවේදී මුහුදු මහා විහාරය වගේ අපේ බෞද්ධ සිද්ධස්ථාන පිහිටි, පුරාවිද්‍යාත්මක වටිනාකම් තියෙන බිම් ඩෝසර් කරන කොට ඒ අය මොකද කළේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන.
මුලතිව් වල ආදාහනය කරන කොට ඒ පාර්ලිමේන්තුවේ හිටපු භික්ෂූන් වහන්සේලා ඒ ගැන කතා කෙරුවෙ නැහැ. ආත්මාර්ථකාමී චරිත තමයි මේවට රිංගලා හිටියේ ආගමටවත්, ජාතියටවත් රටටවත් මේ අයගේ ආදරයක් නෑ. තමන්ට දෙයක් කර ගන්න ඕන කියන චේතනාව තමයි මේ අයට තිබෙන්නේ.
ඒක දැන් සක්සුදක් සේ පේනවා. අද වෙන කොට ගිහියන්ටත් වඩා පල්ලෙහාට වැටිලා පොර කනවා. තෘෂ්ණාවෙන් පිරිච්ච තුන් හතර දෙනෙක් මන්ත්‍රී ආසනයක් වෙනුවෙන් ගහ ගන්නවා බැන ගන්නවා. නීතිය හමුවට යනවා. මේ ශාසනය වෙනුවෙන්ද?
මා ගිහියන්ගෙන් ඉල්ලීමක් කරනවා මෙම සිද්ධිය උදාහරණයට අර ගෙන ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී භික්ෂූන් වහන්සේලාට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටින්න කියලා.
ඒ අයට කතිරයෙන් උපස්ථාන කරන්න එපා. සිව්පසෙන් උපස්ථාන කරන්න, බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් මේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ කිසිම මැතිවරණයකදී හෝ මේ අයට කතිරය ලබා දෙන්න එපා කියලයි. ඒක තමයි මේ රටට බුද්ධ ශාසනයට කරන ලොකුම ගෞරවය.උඩ බලා ගෙන කෙල ගහ ගත්තා වගේ වැඩක් මේ සිද්ධ වෙලා තියෙන්නේ.
ජනතාව දැන් සියලු භික්ෂූන් වහන්සේලා දෙස බලන්නේ දැඩි අප්‍රසාදයකින්, විශේෂයෙන් අනුන්ගේ පක්ෂ අරගෙන සාමාජිකයො දන්නෙත් නෑ ඒ අය එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගේ අවශ්‍යතාවයකට බොහෝ දිස්ත්‍රික්ක වලට භික්ෂූන් වහන්සේලා නම් කලා, මේ අරගලය කළේ රටටවත් ජාතියටවත්, සම්බුද්ධ ශාසනයටවත් වැඩක් කරන්න ඕන කියන අපේක්ෂාවෙන් නොවේ.

ජනාධිපතිතුමාට පැහැදිලි ජන වරමක් ලැබිලා තිබෙනවා. අණ පනත් වෙනස් කර ගන්න පුළුවන්. දැන් ජනාධිපතිවරයාට අවශ්‍ය බලය ශක්තිය ලැබිලා තිබෙනවා. සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අවශ්‍ය කරුණු කාරණා එතුමා සිද්ධ කරනවා.
මසකට සැරයක් අති පූජ්‍ය මහනායක, අනුනායක, හිමිවරුන් මුණ ගැසී අවවාද අනුශාසනා ලබා ගෙන ඒවා පිළිපදිනවා. ඒ වගේම බුද්ධ ශාසනය වෙනුවෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශයක්, මහා භාරකාර දෙපාර්තමේන්තුව, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයෙකු පත්කර තිබෙනවා. ඒ විතරක් නෙමෙයි දහම් පාසල්, පිරිවෙන්, බෞද්ධ, විශ්ව විද්‍යාල වෙනුවෙන් දැන් රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉන්නවා. ඒ නිසා භික්ෂූන් වහන්සේලාට පාර්ලිමේන්තුවට ගිහිල්ලා කරන්න දෙයක් නැහැ.‘‘ යයිද මිහින්තලේ රජ මහ විහාරාධිපති පූජ්‍ය වලවා හැංගුන වැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.

