විස්සයි-විස්ස ක‍්‍රිකට් තරඟ යනු ලෝක ක‍්‍රිකට් පිටියට අමුතුම ආකර්ශනයක් ගෙනදුන් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ නව හැඩයයි. තරඟයකට පමණක් සීමා නොවී මෙම ක‍්‍රිකට් තරග පැවැත්වෙන්නේ හරියට සැණකෙළි ස්වරූපයෙනි. මේ අපූරු සැණකෙළි තරඟ අතරට එක්වූ නවතම විස්සයිxවිස්ස තරඟාවලිය වන්නේ එස්-එල්-පී-එල් (SLPL) හෙවත් ශ්‍රී ලංකා ප‍්‍රිමියර් ලීග්-විස්සයි-විස්ස තරගාවලියයි. දැන් මේ තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මොහොතකි. මෙවැනි තරගාවලියක් ආරම්භ කරනවිට එය උත්කර්ෂවත් සමාරම්භයකින් පැවැත්වීමට සංවිධායකයෝ උත්සුක වෙති. ඒ අනුව මෙම තරගාවලිය ආරම්භ කෙරුණේද එවැනි උත්කර්ශවත් සමාරම්භයක අසිරිය සමගින් පසුගිය 10 වෙනිදාය. සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩා පරිශ‍්‍රයේ පැවැති මේ සොඳුරු අවස්ථාව චිත්තාකර්ෂණීය රටා පෙළකින් හැඩ ගැන්විණ. මේ සටහන් වන්නේ ඒ සොඳුරු රාත‍්‍රිය ගලා ගිය විදිය ගැනයි.
පාකිස්ථාන හිටපු ප‍්‍රවීණ ක‍්‍රීඩක රමීශ් රාජා සහ ශ්‍රී ලංකා රූ රැජිණ වූ ස්ටෙෆානි සිර්වර්ධන මෙන්ම කැලූම් ශ්‍රීමාල් මෙහි විස්තර කථනයට එක්ව සිටියහ. මෙම උළලෙහි සමාරම්භය සනිටුහන් වූයේ ජාතික ගීයට මුල්තැන දෙමිනි. ඒ සඳහා ළමෝ ළපටි රැසක් සහභාගි වූහ. ඉන්පසු ශ්‍රී ලංකාවේ එදා මෙදා ක‍්‍රිකට් තරු ගැන සහ ඔවුන්ගේ දක්‍ෂතා ගැන හැඳින්වීමක් කරන අතරේ දර්ශන තල පරිගණක තිර මතින් මුදා හැරිණි. මහින්ද්‍රා එස්එල්පීඑල්(SLPL) නමින් පැවැත්වෙන මෙම උළලෙහි ආරම්භක කතාව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග විසින් කරන ලදී. ඉන්පසු විවිධ නර්තනයන්ගෙන් වේදිකාව හැඩ ගැන්විණි. විවිධ හඳුන්වාදීම් කිරීම සඳහා හේතු පාඨ කීමට එක් එක් අවස්ථාවලදී ප‍්‍රවීණ රංග ශිල්පී රවීන්ද්‍ර රන්දෙණිය, ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහද එක්විය. සනත් ජයසූරිය සහ අනර්කලී ද, එලෙසින් එක්වූ අනෙක් තරුය. මහින්ද්‍රා ආයතනයේ සහ මේ තරගාවලි ප‍්‍රධානීන් වන ඉන්දීය ජාතිකයින්ද, එක් එක් කණ්ඩායම් බාර හිමිකරුවන්ද කණ්ඩායම් නායකයින් සමග හඳුන්වාදීම ඉන්පසු සිදු කෙරිණ. ඒ සෑම හඳුන්වාදීමක්ම අවසන් වූ පසු විශේෂිත නර්තන අංග සහ ගීතවත් අවස්ථා පැවැත්වූවේ ඒ ඒ පළාත්වල රිද්මයට-සංස්කෘතියට සමගාමීවය.
මේ අතරවාරයේදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායක මහේල හිටපු ක‍්‍රීඩක ලෝප‍්‍රකට ක‍්‍රීඩ අරවින්ද ද සිල්වා මෙන්ම ලෝක වාර්තාවන්ට හිමිකම් කියන ලෝප‍්‍රකට ක‍්‍රීඩක බ‍්‍රයන් ලාරාගේ කතාද ඇතුළත් විය. බ‍්‍රයන් ලාරා කළ කතාව කාගේත් පැසසුමට ලක්විය. බ‍්‍රයන් කිසිවිටෙකත් ශ්‍රී ලංකාවේ ලෝක ශූරතාවය දිනූ කණ්ඩායම සහ එහි නායකයා වූ අර්ජුන අමතක කළේ නැත.
කවදත් ශූර කථිකත්වයට දක්‍ෂ අපේ සංඟා කතා කිරීමට පෙර, විශේෂිත නර්තන කීපයකින් සහ සංගීත වාදන වෙතින් උළෙල රස ගැන්විණි. ප‍්‍රසාදි නර්තන ඇකඩමිය, චන්දන වික‍්‍රමසිංහ සිසු සිසුවියන් මෙන්ම විවිධ නර්තන වාද්‍ය ශිල්පීන් රැසක් මේ අංග හැඩ ගැන්වූහ. මෙහිදී පැමිණ සිටි කාගේත් සිත් ගත්තේ මෙම තරගාවලියේ වෙළඳ නාම තානාපති දෙපළක් ලෙස කටයුතු කරන භාතිය-සන්තුෂ් ඩිල්ෂාන් සමග නටමින් ගැයූ ගීතයයි. ඒ ගීතය ගැයීම සඳහා ඔස්ටේරලියානු ක‍්‍රීඩකයින් වන ඩර්ක් නැනස් සහ බොගස් මෙන්ම පාකිස්තානු ක‍්‍රීඩක ඉම්රාන්නසීර් මෙන්ම බ‍්‍රයන් ලාරාද එක්වීම සුවිශේෂී අවස්ථාවක් විය.
ඩිල්ෂාන් නානානෙ... නානනෙ නානනෙ නා... කියමින් තාල මවද්දී, ඩර්ක් නැනස්ද එය අපූරුවට ගැයුවේය. ඉන්පසු ලාරා ද එම විදියටම ගැයූ අතර කවුරුත් ප‍්‍රීතියෙන් උද්දාමයට පත්වූ අවස්ථාවක් විය. ඩිල්ෂාන් දිල්ස් කූප් ගීතයෙන් නර්තනයෙන් භාතිය සන්තුෂ් සමග ඉදිරිපත් කළ විදියද කාගේත් සිත්ගත් මොහොතක් විය. භාතිය-සන්තුෂ් මෙහි ප‍්‍රසංග කළමණාකරණය සඳහා එක්ව සිටි අතර, ගීතවත් අවස්ථා සඳහා ඉන්දියාවේ ප‍්‍රකට ශිල්පීන් මෙන්ම ලෝප‍්‍රකට රෙගේ ගායක මැක්සිෆිස්ට්ද මේ අවස්ථාව හැඩගැන්වූහ. මෙහිදී අමතක කරන්නම බැරි තවත් චරිතයක් ලෙස බොලිවුඞ් රංගන ශිල්පී විවේක් ඔබරෝයි සඳහන් කළ හැකිය. අපූරු නර්තනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාව හා ඔහු අතර ඇති ආධ්‍යාත්මික බැඳීම ගැන කතා කළේ හරියට ශ්‍රී ලාංකිකයකු මෙනි. ශ්‍රී ලංකාවේ බොහෝ දේ සඳහා දායකත්වය ලබා දෙන බවට ඔහු තවදුරටත් සඵත වූහ.
කෙසේ වෙතත්, මේ සොඳුරු මොහොත සඳහා මාධ්‍ය වෙනුවෙන් ගරුත්වයක්, ආරාධනා කිරීමක් කළාදැයි අප නොදනිමු. අපට මේ සොඳුරු මොහොත ආවරණය කිරීමට ලැබුණේ පෞද්ගලිකව ලද ආරාධනා පත් නිසාය. ඒ වෙනුවෙන් වෙසෙසින්ම අප වත්මන් ප‍්‍රසංග කලාවේ ශබ්ද පරිපාලන අංශයේ නව ප‍්‍රවණතාවය වන මලින්ද ලෝ වෙනුවෙන් ස්තූතිය පුදකළ යුතු අතර, භාතිය සහ වෙසෙසින්ම සන්තුෂ්ට විශේෂිත ස්තුතිය පුද කළ යුතුය.
ඔබ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට හදවතින්ම ආදරය කරන බව අපි දනිමු. මේ සොඳුරු මොහොත ගැන මෙලෙස සටහන් කළේ ඒ නිසාමය. එසේ නම් ඔබ ආදරය කරන ඒ ක‍්‍රිකට් තරු පිරිවරාගත් ඒ රාත‍්‍රියේ සුන්දරත්වය මේ ඡායාරූප වෙතින් සිතුසේ විඳගන්න.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ