බෞද්ධයින්ව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීම හෙළා දකින බවට රාමඤ්ඤ මහා නිකායෙන් නිවේදනයක්


(ඩයනා උදයංගනී)

භික්‍ෂු සමාජය තුළ මෙන්ම සිංහල බෞද්ධ සමාජය තුළ වර්තමානයේදී යම් අසහනකාරීත්වයක් උද්ගතව ඇත්තේ රටේ නීතිය පොදු සාධාරණ ක‍්‍රමවේදයකට අනුව ක‍්‍රියාත්මක නොවීම නිසා බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පසුබිම් වූ එම හේතු නොසලකා භික්‍ෂූන් වහන්සේ හා බෞද්ධ ජනතාව අන්තවාදීන් ලෙස මුද්‍රා තැබීමට ඇතැමුන් ගන්නා උත්සාහයන් පිළිකුලින් යුතුව හෙළා දකින බවත් රාමඤ්ඤ මහා නිකාය පවසයි.

ජාතික හා සාසනික ගැටලූ හමුවේ ඇතැම් සංවිධාන ක‍්‍රියාකළ අපරිණත ස්වරූපය නිසා ද බුදු සසුනට හානියක් වූ බව එහි දැක්වෙයි.

එවැනි ගැටලූ හමුවේ ක‍්‍රියාකළ යුත්තේ දේශපාලන පක්‍ෂ හා පුද්ගලයන්ගේ න්‍යාය පත‍්‍රවලට හසුනොවෙමින් හා දුරදක්නා නුවණින් යුතුව ශික්‍ෂිත ස්වරූපයකින් බව ද නාපානේ පෙමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නා හිමියන්ගේ අත්සනින් නිකුත් කළ එම ප‍්‍රකාශනයේ දැක්වේ.