බෝතලේ අම්බලම වෙල මැද තනි වේ


අනුරාධපුර රජ සමයේ සිට පැවති මීරිගම බෝතලේ ඓතිහාසික වෙල මැද අම්බලම කළක් තිස්සේ නිසි නඩත්තුවක් නොමැතිකමින් කැඩී බිඳී විනාශ වෙමින් පවතී.

ගෝඨාභය රජ සමයේ මෙම අම්බලම ඉදි කර ඇත්තේ අනුරාධපුරයේ සිට අත්තනගල්ල දක්වා වැටී තිබූ මාර්ගය අසබඩ බව ජනප‍්‍රවාදයේ සදහන්වේ.

මේ අම්බලම පිහිටියේ බෝතලේ වල්ව්ව පිහිටි ගමේය.බෝතලේ වලව්වේ සිටි අය අතර ඩී එස් සේනානායක, ශ්‍රී ලංකාවේ මුල්ම අගමැති ද කෙනෙකි.

ඩී එස්  සේනානායක මහතා ද ඔහුගේ පියා වන දොන් ස්පේටර් මුදලිතුමාගේ පවුලේ අය ද මේ අම්බලමේ  කුදු මහත් කටයුතුවලට දායක වු බව කියති. එදා සිටි ගොවීන් ඇතුළු වැසියෝ මේ අම්බලමේ සෙවන ලදහ.

අනුරාධපුරයේ සිට ආ මෙම මාර්ගය මාඔයේ ඕලූස්සා මංකඩ, බත්ගම්ගොඩ, පිරිස්යාල, අඩුපේ, බෝතලේ ,බටලීය ආදි ගම්මාන ඔස්සේ අත්තනගල්ල දක්වා වැටී තිබී ඇති බවද කියති. බෝතලේ ගම්මානය එවකට වැහැරපොළ ලෙස ප‍්‍රසිද්ධව තිබී ඇත.

මෙම කොටසේ අම්බලම් දෙකක් තිබී ඇති අතර ඉන් පලමුවැන්න බෝතලේ වෙල මැද අම්බලමය. දෙවැන්න වත්මන් බටලීය ප‍්‍රදේශයේ තිබී ඇති අතර එම අම්බලම තිබූ බව කියන ස්ථානය දැන් බුද්ධ ප‍්‍රතිමාවක් තබා වන්දනා මාන කරන ස්ථානය බවට සැලකෙන බව මේ පිලිබදව ‘එසැණ‘ කළ සොයා බැලීමේදී බෝතලේ ශී‍්‍ර ගෝඨාභය රාජ මහා විහාරාධිපති මහෝපාධ්‍යාය කඩිගමුවේ පේමානන්ද හාපිටිගම් කෝරලේ ප‍්‍රධාන සංඝනායක නාහිමියෝ සදහන් කළහ.

ගමේ පැරැන්නන් කියන අන්දමට මෙම අම්බලම සිංහල උළු සෙවිලි කර තිබී ඇත. වසර පනහකට හැටකට  පමණ පෙර එහි වහලය අබලන්වී විනාශවීමේ තර්ජනයක් උද්ගතවූ අවස්ථාවේදී රට උළු සෙවිලි කරනු ලැබූ බව ගමේ වැඩිහිටියන් කීප දෙනෙකුගෙන් දැන ගන්නට ලැබිණි.

පසුකාලීනව මාර්ග පද්ධතියක් ස්ථාපිතවීමත් සමග අම්බලම අභාවයට ගියත් මෙය වෙල් යායක් මැද පිහිටීම නිසා ගොවීන්ට මහත් සෙතක් අත්වී ඇත. මේ වනවිට වහලය දැඩි ලෙස අබලන් නිසා ගොවීන්ද එයින් ප‍්‍රයෝජන ගැනීම අතහැර ඇත්තේ අනතුරකට අතවනන ස්ථානයක්වී ඇති නිසාය.

වසර කිහිපයක සිට අම්බලම යළිත් අබලන්වන්නට වූ අතර  විටින්විට වගකිවයුත්තන් දැනුම්වත් කළත් කිසිදු පියවරක් මෙතෙක් ගත් බවක් දැනගන්නට හෝ නැත.

ගම්පහ දිස්තී‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජයවර්ධන මහතා බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන සමයේ ඒ මහතා හා පළාත් සභා මන්තී‍්‍ර උදේන විජේරත්න මහතා මෙම අම්බලම පිලිසකර කිරීම සදහා මුදල් වෙන් කරනු ලැබුවද විවිධ නීති හරස්වීම නිසා එම උත්සාහයන්ද අපතේ ගියේය. මේ සදහා මීරිගම ප‍්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුව මේ සම්බන්ධව උපදෙස් පතා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන්ද විමසීම් කළත් පලක් නොවු බව එම රැස්වීම්වලදී අනාවරණය විය.

මෙම අම්බලම සම්බන්ධයෙන් වහා පියවරක් නොගතහොත් වැඩි කලක් යාමට පෙර බිම පතිතවී අතීතයේ වටිනා සම්පතක් තිබූ ඓතිහාසික තැනක්වත් අනාගතයේ දරු පරපුරට දැක ගන්නට නැති වන දිනය අත ළගවනු ඇති බව එහි ගිය ගමනේදී නිරීක්ෂණ විය.