( ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර )
හෙරොයින් මත්කුඩු කිලෝ 288 ක පුමාණයක් සමග සැකකරුවන් පස් දෙනෙකු බේරුවල මුහුදේ දී අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළ ව පොලිසිය මගහරිමින් සිටි ප්‍රධාන සැකකරුවකු වන කළුදුර චමින්ද තාබ්‍රෙව් හෙවත් "බොබ්මාලි" (41) නැමැත්තා ඇල්පිටිය නගරයට ආසන්න නිවසක කැටපළ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අද (9) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි .
පොලිසිය මඟ හරිමින් සිටි මෙම සැකකරු ඇල්පිටිය කැටපළ ප්‍රදේශයේ මාදු ගඟ ආසන්නයේ නිවසක සැඟව සිටින බවට ලැබුණු තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
බහුදින යාත්‍රා නියමුවෙක් වශයෙන් කටයුතු කරමින් සිටින මෙම සැකකරු මාලඹේ තලාහේන , නිසංසලා මාවතේ අංක 128/09 සහ බත්තරමුල්ල උඩුමුල්ල,සල්මල් මාවතේ අංක 522/1/2 යන ලිපින වල පදිංචි සිට ඇති අතර ඉකුත් අගෝස්තු (31) දින බේරුවලදී ඉහත මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමත් සමඟම මොහු පොලීසිය මඟහරිමින් සැඟව සිට ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය
මෙම මත්කුඩු මෙරටට රැගෙන ඒම සඳහා මූලිකව කටයුතු කර ඇත්තේ ඉහත සැකකරු බව ද එම පොලිස් නිලධාරියා කීය.
විදේශිය ජනප්‍රිය ගායකයකුගේ හැඩරුවට සමාන ව කොණ්ඩය දිගට වවාගෙන සිටීම හේතුවෙන් සැකකරු බොබ්මාලි නමින් කා අතරත් ජනප්‍රියව සිටි පුද්ගලයෙකු බවද පොලිසිය සඳහන් කරයි .
පොලිසිය මඟ හරිමින් සිටි සැකකරු දින 8 ට කාලයක් පුරා ඔහුගේ මිතුරෙකුට අයත් මෙම නිවසේ සැඟව සිට ඇති අතර මොහු අත්අඩංගුවට ගැනීම සඳහා ජනතාවගේ සහාය ඉල්ලමින් පොලිස් මූලස්ථානය ඔහුගේ ඡායාරූපයක් සමගම මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කර තිබිණි .
එම නිවේදනයෙන් පසු බොබ්මාලිගේ හැඩයෙන් යුතුව වවා තිබූ දිගු වරලස ඊයේ (8) කොටට කපා තිබූ බවද එම උසස් පොලිස් නිලධාරියා කීය .
සැකකරු ඔහුගේ මිතුරෙකුට අයත් නිවසක මෙලෙස සැඟව සිට ඇති අතර මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පෙරේදා දහවල් සිට මාදු ගඟ ආශ්‍රිතව බෝට්ටු යොදා සිදුකළ මෙහෙයුමේදී මෙම නිවස හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වෙත රැගෙන විත් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කරමින් පසුවෙයි .

