බූස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් අඩක්ම අසනීප නිවාඩු


(  ජයන්ත සමරකෝන්)
බූස්ස බන්ධනාගාරයේ සේවය කරන නිලධාරීන්ගෙන් අඩක් පමණ දින කිහිපයක සිට අසනීප නිවාඩු  වාර්තා කර ඇති බැවින් බන්ධනාගාරයේ පරිපාලන කටයුතු  පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක්  මතුව ඇතැයිඑම බන්ධනාගාර ආරංචි මාර්ග කියයි.
 
රැකියාවේ සුරක්ෂිත භාවයක් නැතැයි කියමින් මෙම පිරිස සේවයට නොපැමිණෙන බවද දැනගන්නට තිබේ. දිවයිනේ නම ගිය අපරාධකරුවන්  රැසක්  මෙහි රඳවා සිටිති.
 
පසුගියදා  පාතාල නායකයකු  වන කංජිපානි  ඉම්රාන් නැමැත්තාගේ සිරකුටියේ තිබී ජංගම දුරකතයක් සොයාගැනීමේ සිද්ධියත් සමඟ ජේලර්වරයකුගේ ඇතුළු නිලධාරීන් තිදෙනකුගේ  වැඩ තහනම් කිරීමද නිලධාරීන්  අසනීප නිවාඩු වාර්තා කිරීමට හේතුවක් වී ඇත. බන්ධනාගාරයේ නිලධාරීන් 112 දෙනකු සිටින අතර දැනට ඉන් අඩක් අසනීප නිවාඩු වාර්තා කර තිබේ.

 වෙලේ සුදා,පොට්ට නවුෆර්,සුසෙයි,සියාම් ,කංජිපානි ඉම්රාන්,ඌරු ජුවා, ඇතුළු විශේෂ ගණයේ අපරාධකරුවෝ 16 දෙනකු දැඩි ආරක්ෂාව යටතේ  මෙහි රඳවා සිටිති.

 මේ පිළිබඳව  බන්ධනාගාර කොමසාරිස් ( පාලන)  බන්දුල ජයසිංහ මහතාගෙන් විමසීමේදී සඳහන් කළේ වැඩතහනමට ලක් වූ නිලධාරීන්ගේ පරීක්ෂණ කටයුතු තවමත් අවසන් නැති බවයි. අනෙක් නිලධාරීන් සේවයට වාර්තා නොකිරීම පිළිබව සොයා බැලිම එහා අධිකාරීවරයාගේ වගකීමක් බවද සඳහන් කළේය.