බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට සිදුවී ඇති හානිය ගැන කුරුණෑගල මහෙස්ත්‍රාත් වාර්තාවක් ඉල්ලයි


(මනෝප්‍රිය ගුණසේකර)

 

කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ පවත්වාගෙන ගිය බුවනෙකබාහු රාජසභා මණ්ඩපයට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? යන්න මෙන්ම ඉන්සිදුවී ඇති හානිය හා එය පිළිසකර කිරීමට ගතවන කාලය පිළිබඳ ලබන 31 වැනිදාට පෙර වාර්තාවන් ඉදිරිපත් කරන ලෙස පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට නියම කළ කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා මෙහි අවට ඇති සී.සී.ටී.වී. කැමරා දර්ශන ලබා ගන්නා ලෙස පොලිසියට අද (23) නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දෙමින් නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීම් සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙම විමර්ශනය සඳහා අවශ්‍ය වන බව කියමින් නීතීපතිවරයාගේ උපදෙස් මත සකස් කරන ලද ප්‍රශ්නාවලි දෙකක් අධිකරණයට ඉදිරිපත් කළ බවද නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කටයුතු සඳහා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා වෙත හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ආසිරි මහතා වෙත යොමු කිරීම සඳහා ප්‍රශ්නාවලියක් අධිකරණයට ඉදිරිපත් කළේය.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත හා ජාතික ගොඩනැඟිලි පරීක්‍ෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමු කිරීම සඳහා එලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නාවලි දෙකේ මෙම ගොඩනැඟිල්ලට හානි සිදුකොට ඇත්තේ හිතාමතාද? නැත්නම් මෙය ස්වභාවිකව සිදුවූ හානියක්ද? යන්න වාර්තා කරන ලෙසද ඉන් සිදුවු හානිය මෙන්ම මෙම ගොඩනැඟිල්ල යළි පිළිසකර කිරීම සඳහා ගතවන කාලය දැනුම් දෙන ලෙසද නියම කොට ඇත.

බුවනෙකබාහු රාජසභා මණ්ඩපය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ල පුරාවිද්‍යා ස්ථානයක්ද යන්න අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතාට වැඩිදුරටත් නියම කොට ඇත.