බුවනෙකබාහු රාජසභා මණ්ඩප පරිශ්‍රයට ඇතුල්වීම තහනම් කරයි


(මනෝප්‍රිය ගුණසේකර)

අලාභහානි කරන ලද කුරුණෑගල ‘බුවනෙක හෝටලය’ පවත්වාගෙන ගිය බුවනෙකබාහු රාජසභා මණ්ඩපය පැවැති පරිශ්‍රයට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති, නාගරික සභිකයින්, නාගරික කොමසාරිස්වරයා, නාගරික ඉංජිනේරු, එහි කාර්ය මණඩලයේ නියෝජිතයින් හෝ අනු නියෝජිතයින්ට ඇතුල්වීම තහනම් කරමින් කුරුණෑගල මහෙස්ත්‍රාත් ඒ.ඩී.සී.එස්. හේවාවසම් මහතා විසින් අද (23) නියෝගයක් නිකුත් කරන ලදී.

‘බුවනෙක හෝටලය’ නමින් පවත්වාගෙන ගිය කඩාබිද දැමූ කරුණෑගල රාජධානියේ රාජසභා ගොඩනැගිල්ල තිබූ පරිශ්‍රය අපරාධ ස්ථානයක් වශයෙන් නම් කළ මහෙස්ත්‍රාත්වරයා කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට මෙම පරීශ්‍රයට ඇතුල්වීම තහනම් කොට ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ට මෙම පරිශ්‍රයට ඇතුල්වීම තහනම් කොට ඇති බව කුරුණෑගල නගරාධිපතිවරයාට දැනුම් දෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයා අධිකරණ ලේඛාධිකාරීවරයාට නියම කළේය.

‘බුවනෙක හෝටලය’ නමින් පවත්වාගෙන ගිය කරුණෑගල රාජධානියේ රාජසභා ගොඩනැගිල්ල කඩාබිද දැමීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකළ කුරුණෑගල පොලිසිය විමර්ශන කටයුතු වලින් ඉවත් කොට කුරුණෑගල පොලිස් අධිකාරිවරයා යටතේ ඇති කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය යටතට ගෙන ඇති බව දැනුම් දෙමින් නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.

මෙම සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරමින් පවරා තිබු නඩුව මෝසමක් මාර්ගයෙන් කැඳවු කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුලතුංග මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වගන්තිය යටතේ මෙම සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන කටයුතු කුරුණැගල පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත තමන් බාරගත් බව දැනුම් දුන්නේය.

සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුලතුංග මහතා නීතීපතිවරයා තමන්ට ලබාදුන් උපදෙස වලට අනුව සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව දැනුම් දුන්නේය.

නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා අධිකරණය අමතමින් නීතීපතිවරයා වෙත පැවරී ඇති සුවිශේෂි බලතල මත මෙම සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන කටයුතු සඳහා තමන් මැදිහත් වු බව දැනුම් දුන්නේය.

මෙම සිද්ධිය වු ස්ථානය මෙතෙක් අපරාධ ස්ථානයක් වශයෙන් නම් කොට නොමැති බව අධිකරණයේ අවදානය යොමු කළ මාධව තෙන්නකෝන් මහතා මුලින්ම මෙම ස්ථානය අපරාධ ස්ථානයක් වශයෙන් නම් කොට එම අපරාධ ස්ථානය ඇති පරීශ්‍රය ආරක්‍ෂා කිරීමට පොලිසියට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

මෙම අපරාධ ස්ථානයට අධිකරණයේ අවසරයකින් තොරව පිටස්තර කිසිවකුටත්  ඇතුල්වීම තහනම් කරන්නැයි ඉල්ලා සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතා එලෙස ඇතුල්වීම තහනම් කළ පිරිස අතරට කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති, උප නගරාධිපති, නාගරික සභිකයින්, නාගරික කොමසාරිස්වරයා, නාගරික ඉංජිනේරු, එහි කාර්ය මණඩලයේ නියෝජිතයින් හෝ අනු නියෝජිතයින්ද ඇතුලත් කරන්නැයි ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව අදාළ තහනම් නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව සිදුකරන විමර්ශන වල ප්‍රගතිය මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන 30 වැනිදා අධිකරණයට දැනුම් දෙන්නැයි නියම කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කුලතුංග මහතාද නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ ක්‍රිෂාන් ගුණතිලක මහතා සමඟ රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ මාධව තෙන්නකෝන් මහතාද පෙනී සිටියහ.