
(ඩයනා උදයංගනී)
කුරුණෑගල, ඓතිහාසික බුවනෙකබා රාජ සභා මණ්ඩප ගොඩනැඟිල්ල ආරක්ෂක අංශවල සහයෝගය ඇතිව ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පැවසීය.
මෙය ආරක්‍ෂක අංශවල ද සහයෝගය ලබාගෙන ප්‍රතිසංස්කරණය කරන්නැයි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද උපදෙස් දී ඇතැයි කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා එය සියයට 95ක් පමණ මුල් තත්ත්වයට ගෙනඒමට හැකි බව ද සඳහන් කළේය.
කෙසේ වෙතත් එම කාර්යය සඳහා යම් කාලයක් ගතවනු ඇතැයි ද හෙතෙම කීවේය.
බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට අගමැතිවරයා විසින් පත්කළ පංච පුද්ගල විද්වත් කමිටුවේ සභාපතිවරයා ද වන සෙනරත් දිසානායක මහතා පැවසුවේ එම කමිටුවේ මූලික වාර්තාව ඉදිරි දින කිහිපයේදී අගමැතිවරයාට භාරදෙන බවත් ප්‍රායෝගික අසීරුතා හේතුවෙන් අගමැතිවරයා නියෝග කළ පරිදි 23 වැනිදා එය භාරදීම අසීරු බවත්ය
අවසන් වාර්තාව සකස් කිරීමට තවත් කරුණු සෙවිය යුතු බව ද හෙතෙම කීවේය.
පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ එම දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
‘බුවනෙක හෝටලය’ නමින් හඳුන්වා ඇති මෙම ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් තවදුරටත් සොයාබැලිය යුතු බව කී සෙනරත් දිසානායක මහතා මෙය කුරුණෑගල රජ කළ බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය බව ජනප්‍රවාදයේ තිබුණත් ඒ සම්බන්ධයෙන් මහවංශයේ හෝ වෙනත් ලිඛිත මූලාශ්‍රවල සඳහන්ව නැතැයි ද හෙතෙම සඳහන් කළේය.

