බුද්ධගයා බෝම්බ පිපිරීම තමන් කළ බව කැනඩාවේ සිට ඉන්දියා මුජහිදීන් සංවිධානය ට්වීටර් වෙබ් අඩවියෙන් කර ඇති ප්‍රකාශයේ ඇත්ත නැත්ත සොයන බව ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්සිය කියයි.
ඔවුන්ගේම ට්වීටර් වෙබ් අඩවියෙන් එම වගකීම භාර ගෙන ඇති බවත්, ඊළඟ ප්‍රහාරය ඉන්දියාවේ මූල්‍ය ගත නගරය වන මුම්බායි නුවරට බවත් එහි දැක්වෙන බව හින්දුස්තාන් ටයිම්ස් පත්‍රය කියයි.
එම අනතුරු ඇඟවීම කර ඇත්තේ බුද්ධගයා ප්‍රහාරයට දිනකට කලින් බවත්, බුද්ධගයා ප්‍රහාරය සිදුවූයේ ජූලි හත්වැනිදා බවත්, බුද්ධගයාවේ ආරක්ෂක කැමරා වලින් ලබාගත් තොරතුරු අනුව 20 හැවිරිදි තරුණයන් තිදෙනකු රඳවා ගත් බවත් එම පුවත්පත පවසයි.
ආනන්ද් ප්‍රකාශ්, ගංජන් පටෙල්, හසන් මලික් හා ප්‍රියංකා ඔවුහුය.
ඉරිදා අලුයම ඔවුන් සැකකටයුතු ලෙස බුද්ධගයාවේ එහා මෙහා ගිය බව ආරක්ෂක කැමරා රූපරාමු වලින් පෙනෙතියි පොලිසිය කියයි.
එදින මහාබෝධිය අවට හෝටලවල ලැගුම්ගත් අයගේ තොරතුරු ද විමසා මේ තුන් දෙනාගේ තොරතුරු ලබාගෙන ඇත.
ඉරිදා උදේ හයට පමණ ඔවුන් තතාගත් හෝටලයෙන් පිටවී ගොස් ඇතැයි ද, ඒ වන විට පිපිරීම සිදුවී මිනිත්තු ගණනක් ගත වී ඇතැයි ද පොලිසිය කියයි.
හෙළි නොකරන ස්ථානයක රඳවාගෙන ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යන බව ද පොලිසිය කියයි.
බුද්ධගයාවේ වැටී තිබී පොලිසියෙන් සොයා ගත් හැඳුනුම්පත හිමියා බාස් කෙනකු බවත්, ඔහුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු නැති බවත් දැනගන්නට ඇත.

