බීරූට් පිපිරීමෙන් ලංකිකයන් 15 කට තුවාල


(තිළිණි ද සිල්වා)

ලෙබනනයේ බීරූට් අගනුවර සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මේ වන විට 15 දක්වා ඉහළ ගොස් ඇති අතර ඔවුන් සියලු දෙනාම එහි සේවයේ කළ කාන්තාවන් යැයි ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි.

තුවාල ලැබූවන් ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවද එම තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

ඉකුත් 03 වැනිදා බීරූට් වරායේ ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් හදිසියේ පුපුරා යෑමෙන් මියගිය සංඛ්‍යාව මේවන විට 154 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර 5000 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

හදිසියේ ඇති වූ එම ආපදා තත්ත්වය නිසා බීරූට් අගනුවර රෝහල් වල ලේ හිගයක් පවතින හෙයින් ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපතිනී ශානි කල්‍යාණරත්න මහත්මිය ඇතුළු එම තානාපති කාර්ය මණ්ඩලයද රුධිර පරිත්‍යාග කිරීමක්ද සිදු කර ඇත.

මේ අතර කොරෝනා වයිරසය හේතුවෙන් ලෙබනනයේ සිරවී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 285 දෙනෙකු ලබන 15 වැනිදා දිවයිනට රැගෙන ඒමට සැලසුම් කර ඇතැයිද එම තානාපති කාර්යාලය කියා සිටී.