(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රුපියල් කෝටි හැට නව දහස් පන් සියයක( බිලියන 695ක) පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (7) පෙරවරුවේ ඉදිරිපත් කරනු ලැබීමට නියමිතය.
මෙම පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳව විවාදය හෙට ( 8 ) සවස 5.30 දක්වා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
එම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමෙන් පසු අගමැතිවරයා විසින් රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරනු ලැබීමට නියමිතය.
ඉන් පසු ඒ පිළිබඳ සභාව කල් කල් තබන අවස්ථාවේ විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වෙනු ඇත.
තවද 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වැනි වගන්තිය යටතේ සාදන ලද නියමයන්ද හෙට විවාද කිරීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම්වරයා පැවැසීය.
පාර්ලිමේන්තුව අද සිට ලබන 10 වැනිදා දක්වා රැස්වීමට නියමිතය.
මේ අතර ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද 2022.04.09 දිනැති අංක 2274/42 ගැසට් පත්‍රයේ සදහන් රෙගුලාසි සහ ණය සීමාව රු. ට්‍රිලියනයකින් ඉහළ නැංවීම සදහා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ වන යෝජනාව අද(7) පෙරවරුවේ විවාදයකින් තොරව අනුමත කර ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) සහ ඛනිජ තෙල් සම්පත් පනත යටතේ නියෝග අනිද්දා (9) ප.ව 4.30 දක්වා විවාද කිරීමෙන් පසු සම්මත කර ගැනේ.