බැසිල්ගේ ලිත් නඩුව නොවැම්බර් 13 සිට දිනපතා


(මනෝප‍්‍රිය ගුණසේකර)

හිටපු ජනපතිගේ රුව ඇතුළත් ලිත් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාට සහ දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහි නඩුව ලබන නොවැම්බර් 13 වැනිදා සිට දිනපතා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (15) නියම කළේය.

ජනාධිපතිවරණ පනතට පටහැනිව පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රුව ඇතුළත් කර දිවි නැඟුම දෙපාර්තමෙන්තුවේ මුදලින් ලිත් ලක්‍ෂ 50ක් මුද්‍රණය කර රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා පවතියි.
මෙම නඩුවේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින සිතාසි නිකුත් කෙරිණි.

මීට පෙර අවස්ථාවකදී මෙම නඩුව සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනාපත‍්‍ර බාරදුන් විනිසුරුවරයා විත්තිකරුවකු රුපියල් ලක්‍ෂය බැගින් වූ මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 05 බැගින් වූ ශරීර ඇප මත විත්තිකරුවන් දෙදෙනාම මුදා හරින ලදී.

මෙම විත්තිකරුවන් දෙදෙනාටම එරෙහිව නීතීපතිවරයා විසින් මෙම චෝදනාවම යටතේ මුලින් නඩුවක් පවරා තිබු අතර තාක්‍ෂණික දෝෂයක් බව කියමින් නීතීපතිවරයා විසින් එම නඩුව ඉල්ලා අස්කර ගත් අතර ඉන් දින දෙකකට පසුව එම තාක්‍ෂණික දෝෂය නිවැරදි කරමින් නිතීපතිවරයා විසින් යළිත් වරක් නඩු පවරනු ලැබීය.