බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය ජූලි මැද අවසන් වෙයි


(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීමට පත්කර ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ සාක්කි විභාගය ලබන ජුලි මාසයේ මැද වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බව කොමිසමේ ලේකම් සුමතිපාල උඩුගමසුරිය මහතා පැවසීය.

එම කොමිසම සඳහා ලබා දී ඇති කාලය ලබන ජුලි මස 27 වැනිදා වනවිට අවසන් වීමට නියමිත බව පැවසු කොමිසමේ ලේකම්වරයා ඒ නිසා කොමිසමේ සාක්කි විභාග කිරීමේ කටයුතු ලබන ජුලි මාසයේ මැද වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.

මෙම ජනාධිපති පරීක්‍ෂණ කොමිසම සඳහා මුලින් මාස තුනක කාලයක් ලබාදී අතර එම කාලය මදී වීම නිසා තවත් මාස තුනක කාලයක් ලබා දෙන ලදී. මේ වන විට එම දෙවැනි ධුර කාලය ගත වේ.

එම කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ  සිදුවේ.