බැදුම්කර කොමිසම හමුවේ අසත්‍ය ප්‍රකාශ ලබා දුන්නැයි සිද්ධියේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි


(නිමන්ති රණසිංහ)

බැදුම්කර පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි හිටපු  අමාත්‍ය  රවී කරුණානායක මහතා  සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන අප්‍රේල් මස 23 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (20) නියෝග කළාය.

සිද්ධියට අදාළ විමර්ශන තවමත් සිදුවෙමින් පවතින බැවින් විමර්ශනවල ප්‍රගතිය දැක්වීම සදහා ඉදිරි දිනයක් ලබා දෙන ලෙසට රජයේ  ජ්‍යෙෂ්ඨ නිතීඥ නදී අපර්ණා සුවඳගොඩ මහත්මිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
 
ඉකුත් 2015 පෙබරවාරි මස 01 වැනිදා සිට 2016 මාර්තු මස 31 වැනිදා දක්වා අතර කාල සීමාව තුළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවක් පිළිබදව පරීක්ෂා කිරීම,  විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සදහා පත්කරන ලද විමර්ශන කොමිෂන් සභාව විසින් ස්වකීය වාර්තාවේ සදහන් කර ඇති 25 වන නිර්දේශය සම්බන්ධයෙන් 2018 ජනවාරි මස 24 වැනිදා සිට කරන ලද විමර්ශනයේදී එකී කොමිෂන් සභාව විසින් 2017 අගෝස්තු මස 02 වැනිදා පවත්වන ලද විභාග සැසිවාරයේදී රවී කරුණානායක විසින් අසත්‍ය සාක්ෂි ලබාදුන් බවට අනාවරණය වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අදාළව අධිකරණය වෙත බී වාර්තාවක් මගින් කරණු ඉදිරිපත් කර තිබිණී.