බැඞ්මින්ටන් සංවර්ධන සංචිතයේ පුහුණුවීම් ජපානයේ යමෂාකිට


බැඞ්මින්ටන් පුහුණුකාරිණියක ලෙස ශ්‍රී ලංකාවේ සේවයට එක් වු ජපාන් ජාතික මසාමි යමෂාකි මහත්මිය ජාතික බැඞ්මින්ටන් සංවර්ධන සංචිතයේ පුහුණුවීම් ආරම්භ කළ බව ශ්‍රී ලංකා බැඞ්මින්ටන් සංගමයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා ‘ලංකාදීපයට පැවසීය. ජාතික කනිෂ්ඨ තරගාවලිය ඇතුළු තරගාවලිවලදී දස්කම් දැක් වු වයස 19 න් පහළ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 16 දෙනකුගෙන් සමන්විත සංවර්ධන සංචිතයේ පුහුණුවීම් බැඞ්මින්ටන් සංගම් මුලස්ථානයේදී සහ සිංහල ක‍්‍රීඩා සමාජයීය බැඞ්මින්ටන් සංකීර්ණයේදී මේ දිනවල සිදුකෙරේ. යමෂාකී බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ (කාන්තා) 24 වැනි ස්ථානයේ සිටි හිටපු ප‍්‍රවීණතම ක‍්‍රීඩිකාවක් වන අතර ඇය කලක් මාලදිවයිනේද බැඞ්මින්ටන් පුහුණුකාරිණියක ලෙස සේවය කර තිබේ. බස්නායක මහතා පවසන්නේ වසරක කාලයක් යමෂාකිගේ සේවය ශ්‍රී ලංකාවට ලබාදීමට කැමැත්ත පළ කර ඇති බවයි. ජාතික බැඞ්මින්ටන් සංචිතයේ පුහුණුවීම් මැලේසියානු ජාතික ෂංකර් අන්නමලේ මහතා යටතේ දැන් ක‍්‍රියාත්මක වන බවද බස්නායක මහතා වැඩි දුරටත් පැවසීය.