( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
වයස අවුරුදු 18ට අඩු බාල වයස්කාර විත්තිකරුවකුට යාපනය මහාධිකරණය විසින් නියම කරනු ලැබූ මරණ දඬුවම ඉවත් කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපති ගොනු කළ මෝසමක් අභියාචනාධිකරණය විසින් අද (20) නිෂ්ප‍්‍රභ කළේය.
දණ්ඩ නීති සංග‍්‍රහය අනුව බාලවයස්කාර විත්තිකරුවෙකු හට මරණ දඬුවම පැනවිය නොහැකි බවට ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචානධිකරණය අදාළ තීන්දුව දෙන ලද අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඊට එකඟතාවය පළ කර ඇති අතර පසුව ඊට එරෙහිව මෙලෙස මෝසමක් ගොනු කිරීම පිළිගත නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය මෙලෙස නීතිපතිවරයාගේ මෝසම ඉවත දැමීමට තීන්දු කළේය.
යාපනය ප‍්‍රදේශයේ තරුණියක ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඒ වන විට වයස අවුරුදු 16 ක්ව සිටි වගඋත්තරකාර බාලවයස්කරුට මරණ දඬුවමක් නියම කරමින් 2010 අගෝස්තු 19 වැනි දා යාපනය මහාධිකරණය නඩු තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළේය.
දණ්ඩ නීති සංග‍්‍රහය අනුව බාලවයස්කාර විත්තිකරුවකු වූ තමන් හට සිර දඬුවම් හැර මරණ දඬුවම නියම කළ නොහැකි බව පෙන්වා දෙමින් එම මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචන පෙත්සමක් විත්තිකාර අභියාචක විසින් ගොනු කර තිබිණි.
එම වරදකරු සම්බන්ධයෙන් ගතයුතු පියවර කවරේද යන්න පිළිබඳව සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා වෙත යොමු කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට නියම කරන ලදී.
අදාළ ඝාතනය වනවිට 16 හැවිරිදිව සිටි විත්තිකරු අදාළ නඩු තීන්දුව ප‍්‍රකාශයට පත් කරන විට 25 හැවිරිදිව සිටි බවත් ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයෙහි අදාළ වගන්තිය අදාළ කරගත නොහැකි බවත් එම මෝසම මඟින් පෙන්වා දී තිිබණි.
එම මෝසම සලකා බැලූ අභියාචනාධිකරණය සඳහන් කළේ එම අභියාචනාධිකරණ තීන්දුව ප‍්‍රකාශ කළ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඊට එකඟතාවය පළ කර පසුව මෝසමක් මඟින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු මඟින් ඊට අභියෝග කිරීම පිළිගත නොහැකි බවය.

