බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සැකකරු අත්අඩංගුවට


සුමතිපාල දීයගහගේ 
 
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් නීත්‍යනූකුල භාරකාරත්වයෙන් අපහරණය කර දූෂණය කිරිමෙන් පසු සැඟව සිටි සැකකරුවකු වසර තුනකට පසුව ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචි මෙම දැරියගේ ජංගම දුරකතනයට නොහඳුනන පුද්ගලයකුගෙන් ඇමතුමක් ලැබී ඇත. එය වැරදීමකින් ලැබුණු ඇමතුමක් වුවද එම ඇමතුමට පිළිතුරු දීමෙන් පසුව ඇමතුම ලබාදුන් පුද්ගලයා සහ මෙම දැරිය අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගී තිබේ.


මේ අතර 2015 වසරේ මැයි මස දැරියගේ ගමේ විහාරස්ථානයක පැවති උත්සවයකට පැමිණි සැකකරු එදින ඇය නිත්‍යනූකූල භාරකාරත්වයෙන් අපහරණය කර ඇඹිලිපිටියේ පිහිටි සැකකරුගේ මිතුරෙකුගේ නිවසට දැරිය ගෙන ගොස් තිබේ.


එහිදී දැරිය දූෂණය කළ සැකකරු සති දෙකක් එම නිවසේ සිට ඇය ගාල්ල බස් නැවතුම්පොළට ගෙනවිත් දමා පසුව විවාහකර ගන්නා බව පවසා පලා ගොස් ඇත. ඊටපසු ඇය සිය නිවසට පැමිණ මේ සිද්ධිය දෙමාපියන්ට පැවසීමෙන් පසුව 2015 ජුනි 3 වැනි දා උඩුගම පොලිසියට පැමිණිලිකර ඇත.

පසුව ගාල්ල නීතිය බලගැන්විමේ ඒකකය  පරික්ෂණ පවත්වා පානදුරේ ප්‍රදේශයේ සමාගමක වාහනයක රියදුරෙකු ලෙස සැකකරු රැකියාව කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ. 


සැකකරු ඉමදුව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද (15) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.