බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙයි


මහ බ්‍රිතාන්‍යය අද (31) එරට වේලාවෙන් රාත්‍රී 11 ට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට නියමිතය.

බ්‍රිතාන්‍ය වසර 47ක් යුරෝපා සංගමයේ සාමාජිකයකු ලෙස කටයුතු කළේය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ 2016 වසරේදීය. එම ක්‍රියාවලිය බ්‍රෙක්සිට් නමින් හැඳින්වේ.

බ්‍රිතාන්‍යයේ වත්මන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ චරිතයක් වන අතර එම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා හෙතෙම ප්‍රධාන භූමිකාවක් නිරූපණය කළේය.

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමත් සමඟ නව යුගයක් උදා වන බව විඩියෝ පටයක් මුදා හරිමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා කීවේය.

මේ වනවිට බ්‍රිතාන්‍ය පුරා මෙම ක්‍රියාවලියට පක්ෂව සහ විපක්ෂව විරෝධතා පැවැත්වෙන අතර බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර යුරෝපා සංගමයට අයත් ආයතනවලින් එක්සත් රාජධානියේ ධජය ඉවත් කිරීම මේ වනවිටත් ආරම්භ කර තිබේ.

අද රාත්‍රියේ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වුවත් එය දීර්ඝ ක්‍රියාවලියකි. ඒ අනුව එක්සත් රාජධානිය ‘සංක්‍රාන්ති කාලයකට’ එළැඹේ. බ්‍රිතාන්‍ය නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වුවද එය සිදුවන්නේ සෙමිනි.

ඒ අනුව ක්‍රියාවලිය අවසන් වන තෙක් යුරෝපා සංගමයේ ඇතැම් නීති බ්‍රිතාන්‍යයට අදාළ වේ. විශේෂයෙන්ම යුරෝපා සංගමයේ රටවල් අතර නිදහසේ ගමන් කිරීමට එම රටවල වැසියන්ට තිබූ අවසරය තවත් කලක් ක්‍රියාත්මක වේ. එම අවසරය බ්‍රිතාන්‍යයට අහිමි වන්නේ එළැඹෙන දෙසැම්බර් මාසයේදීය.

එම කාලයේදී යුරෝපා සංගමය සමඟ ස්ථීරසාර (නිත්‍ය) නිදහස් වෙළෙඳ ගිවිසුමකට එළැඹීමට එක්සත් රාජධානියට අවස්ථාව උදා වේ.

බ්‍රිතාන්‍ය මේ ආකාරයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් වුවද මෙම ක්‍රියාවලියේ ඉදිරිය සහ යුරෝපා සංගමයේ මෙන්ම විශේෂයෙන්ම බ්‍රිතාන්‍යයේ අනාගතය අවිනිශ්චිත යැයි ඇතැම් දේශපාලන විචාරකයෝ සහ විශ්ලේෂකයෝ මත පළ කරති.
මෙම වෙන්වීමත් සමඟ බ්‍රිතාන්‍ය සාමාජික රටවල් 28කින් සමන්විත යුරෝපා සංගමයෙන් ඉවත්ව යන පළමු රට බවට පත්වෙයි. 1973 වසරෙන් පසු එවැන්නක් සිදුවන්නේ පළමු වරටය.

ඒ.එෆ්.පී. 

055