( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිට බස්නාහිර පළාත් සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු හා එම පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරයෙකු වූ රොයිස් ප්‍රනාන්දු නැමැත්තා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අභියාචනාධිකරණය අද (24) නියම කළේය.
මීගමුව කටාන ප්‍රදේශයේ හෝටලයක් පවත්වා ගෙන ගිය ව්‍යාපාරිකයෙකු හා ඔහුගේ චීන ජාතික පෙම්වතිය සතු විදේශ මුදල් තොගයක් හා වාහනයක් මංකොල්ල කෑම සිද්ධියකට ආධාර හා අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
තමන්ට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කරමින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හා මීගමුව මහාධිකරණය ලබා දුන් නියෝග බලරහිත කොට , තමන්ව ඇප මත මුදා හරින්නැයි ඉල්ලා රොයිස් ප්‍රනාන්දු ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බලමින් අභියාචනාධිකරණය ඔහුව ඇප මත මුදා හැරීමට තීන්දු කළේය.
කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන මහත්මීන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
මෙලෙස ඇප මත මුදා හැරියද ප්‍රතිශෝධන පෙත්සම්කරු සෑම මාසයකම අවසන් ඉරිදා කටාන පොලීසිය හමුවේ පෙනී සිටන ලෙසටත් , අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන වලට හා සාක්ෂිකරුවන්ට බලෑපම් කරන බවට අධිකරණයට වාර්තා වුවහොත් වහාම ඇප අවලංගු කරන බවට කොන්දේසිද අභියාචනාධිකරණය මෙහිදී පැනවීය.
2019 වසරේ මාර්තු 22 වැනි දින කටාන ඉසුරු උයන ප්‍රදේශයේදී පෙන්නි විලා නැමැති හෝටලයක් පවත්වා ගෙන ගිය සුරාජ් නිශාන්ත නැමැත්තෙකු හා ඔහුගේ චීන ජාතික පෙම්වතිය වූ යාන් පෙන්නි සතු විදේශ මුදල් තොගයක් හා වාහනයක් මංකොල්ලකෑම හා ඊට ආධාර හා අනුබල දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටාන පොලීසිය තමන්ව සැකපිට අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට රක්ෂිත බන්ධනාගාර ගත කළ බවද ප්‍රතිශෝධන පෙත්සම්කාර රොයිස් ප්‍රනාන්දු නැමැත්තා සිය පෙත්සමේ සඳහන් කර තිබිණි.
රක්ෂිත බන්ධනාගාර ගත කළ තමන්ට ඇප ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ඉල්ලීමක් කළ ද ඇප ලබා දීම ප්‍රතික්ෂේප වූ බවත් පෙත්සම්කරු සිය පෙත්සමින් කියා සීටි. එකී මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුව බලරහිත කොට තමන් ඇප ලබා දෙන්නැයි මීගමුව මහාධිකරණයට ප්‍රතිශෝධන අයැදුම්ක් ඉදිරිපත් කළමුත් තමන්ට ඇප නොලැබුණු බවද පෙත්සමේ සඳහන් වේ.

