බස්-වෑන් අනතුරින් අයෙක් මරුට : 7 ක් රෝහලේ


(මොහොමඩ් බුහාර්ඩින්)

දඹුල්ල කුරුණෑගල ප‍්‍රධාන මාර්ගයේ ගොකරැල්ල දොලොස්දාහ ප‍්‍රදේශයේදී  අද (25) වෑන් රථයක් හා බස් රථයක් ගැටීමෙන් වූ අනතුරකින් වෑන් රථයේ ගමන් කළ එක් අයකු මියගොස් 7 දෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.

සමන්තුරේ ප‍්‍රදේශයේ  සිට දොහා කටාර් රාජ්‍යයේ සේවය කිරිමට යමින් සිටි තිදෙනෙකු කටුනායක ගුවන්තොටුපොලට ගෙනහැර යාමට යමින් සිටි වැන් රථයෙක් ගොකරැල්ල දොලොස්දාහ ප‍්‍රදේශයේදි මාර්ගයේ මගින් පිරිසක් නවතා පටවමින් සිටි කදුරුවෙල කුරුණැගල බස් රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ වෑන් රථයේ සිටි 8 දෙනෙකු පොල්ගොල්ල දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් එක් අයෙකු මියගොස් ඇතැයි ගොකරැල්ල පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ සමන්තුරේ ප‍්‍රදේශයේ පදිංචි මුහයිර්දින් ජමිල් නැමති 43 හැවිරිදි විවාහකයෙකි.

මොහු ද කටාර් රාජ්‍යයට විදේශ රැකියාට යෑමට නියමිතව සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට ලක්වී තිබේ.

අනතුරින් බරපතල තත්වයේ පසුවු කානාතාවක් ඇතුළු තවත් 5 දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යැවූ බව පොල්ගොල්ල රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසිය.