බවුසර් වෙනුවට දුම්රිය මඟින් ඉන්ධන ප්‍රවාහනය වැඩි කිරීමට අවධානය


(නිමල කොඩිතුවක්කු)

දැනට සියයට තිස් අටක් වන දුම්රිය මගින් තෙල් ප්‍රවාහනය කිරීමේ කටයුතු 60% දක්වා වැඩි කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සහ බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දිවයිනපුරා ඛණිජතෙල් බෙදාහැරීම දැනට වැඩි වශයෙන් බවුසර් යොදා ගනිමින් මාහාමාර්ග හරහා සිදුකෙරෙන අතර මේ හේතුව නිසා විශාල වශයෙන් මාර්ගවල තදබදයත්, පරිසර දූෂණය හා අනතුරු වැඩිප්‍රමාණයක් සිදුවන බැවින් මෙම පියවර ගෙන ඇත.

මෙම හේතූන් පිළිබඳ සමාලෝචනයක් කරමින්  විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සහ බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්  අද(29)  බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්විණ.

මෙම සාකච්ඡාවේදී ගනුලැබූ තීරණ අනුව දැනට දුම්රිය දෙපාර්තමේන්තුව සතු ටැංකි සහිත ගැල් අළුත්වැඩිකිරීම. නව ටැංකි සහිත ගැල් මිලදී ගැනීම ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ප්‍රවාහන අමාත්‍යංශය හා බලශක්ති අමාත්‍යාංශය එක්ව තීරණය කරන ලදී.

මෙහිදී හෙලිවුනු කරුණු අනුව අවම වශයෙන් එක් දුම්රිය එන්ජිමක් මඟින් ලීටර 50000 ටැංකි 14ක් තෙල් ප්‍රවාහනයට යොදාගැනෙන බවත්, ඒ තුලින් ලීටර් ලක්ෂ 7ක් එකවරකට ප්‍රවාහනය කිරීමට හැකියාව ලැබෙනු ඇත.