(උපාලි ආනන්ද)
පොලිස් නිළ ඇදුමින් ගොස් කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර සිදු කිරීමට තැත් කළ බව කියන කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ සැරයන්වරයකු ජූලි මස 6 වන දින දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් හර්ෂණ රත්නායක මහතා අද (23) නියෝග කළේය.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසිය මගින්ම ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.
එම කාන්තාව එම නිලධාරියාට පොල්ලකින් පහර දීම හේතුවෙන් බරපතල තුවාල ලබා පොලිස් සැරයන්වරයා කැබිතිගොල්ලෑව මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇත.
ඔහු දැනට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
පහර කෑමට ලක් වූ පොලිස් සැරයන්වරයාගේ සේවය අත් හිටුවීමට අනුරාධපුර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රවී පීරිස් මහතාගේ නියෝග මත කැබිතිගොල්ලෑව වැඩ බලන සහකාර පොලිස් අධිකාරි විජිත් අල්විස් මහතා කටයුතු කළේය.
කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට අනුව සිද්ධිය මෙසේය.
හදගල රලපනාවේ කාන්තාවක පොලිස් නිෂ්කාශණ වාර්තාවක් ලබා ගැනිමට කැතිබිගොල්ලෑව මූලස්ථාන පොලිසියේ මහජන සම්බන්ධතා ඒකකයට පැමිණ මෙම සැරයන්වරයාව හමුවී ඇත. අදාළ වාර්තාව පසුව ලබා දෙන බවට සැරයන්වරයා එහිදි පවසා තිබේ.
ඉන්පසුව එම කාන්තාවගේ නිවසට ඉකුත් 21 වැනි දා ගොස් ඇති සැරයන්වරයා ඇයට බලහත්කාරයෙන් අතවර කිරිමට තැත් කර ඇත.
සැරයන්වරයාගෙන් බේරීමට එම කාන්තාව පොල්ලකින් සැරයන්වරයාට පහරදි ඇති අතර මේ බව දුරකථනයෙන් කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ.
පසුව කාන්තාවගේ නිවසට පොලිස් නිලධාරින් කණ්ඩායමක් ගොස් බලන විට පහර කෑමට ලක් වූ සැරයන්වරයා නිල ඇඳුමෙහි ලේ සහිතව පුටුවක් මත වාඩි වි සිටියදි පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.
තමන් එම කාන්තාවට අතවර කිරිමට තැත් කළ බවට පොලිස් සැරයන්වරයා මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට දන්වා තිබේ.

