බඹරු ඡන්ද මධ්‍යස්ථානය වෙනස්කරන්නයි කියති


(සිතුම් චතුරංග)
 
වන්නි මැතිවරණ කොට්ඨාසයේ වවුනියාව ඊරට්පෙරියකුලම පැරකුම් මහ විද්‍යාලයේ ස්ථාපිත ඡන්ද මධ්‍යස්ථානය බඹර කූඩු හේතුවෙන් එම ස්ථානයෙන් ඉවත්කර වවුනියාව දකුණ ප්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය හා උත්සවය ශාලාව වෙත රැගෙන ගිය බව වන්නි දිස්ත්‍රික් මැතිවරණ තේරීම් භාර නිලධාරී එස්.එම්.සමන් බන්දුලසේන මහතා පැවසීය.

113 වැනි ඡන්ද මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ පැරකුම් මහ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය අවට හා එහි ගොඩනැගිල්ල තුළ බඹර කූඩු විශාල ප්‍රමාණයක් පැවතීමෙන් නිලධාරීන්ගේ හා ඡන්ද දායකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඉවත්කිරීමට පියවර ගත් බව සඳහන් කළේය.

වවුනියාව ඊරට්පෙරියකුලම පැරකුම් මහ විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති සියලු දෙනා වවුනියාව දකුණ ප්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය හා උත්සව ශාලාව වෙත පැමිණ ඡන්දය ප්‍රකාශ කරන ලෙස ද ඉල්ලා සිටියේය.

ප්‍රාදේශීය සභා නිවාඩු නිකේතනය හා උත්සව ශාලාව වෙත  මාරු කළ ඡන්ද මධ්‍යස්ථානය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන බවත් ගෙයින් ගෙට ගොස් ඡනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද තේරීම් භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.