බම්බලපිටියේ ආයතනයකින් ලක්ෂ 10 ක් සොරාගත් සැකකරු අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බම්බලපිටියේ පෞද්ගලික ආයතනයක කළමනාකරුගේ කාර්යාලයේ මේස ලාච්චුවේ දමා තිබූ රුපියල් ලක්ෂ 10 ක දේශීය සහ විදේශීය මුදල් සොරා ගත් පුද්ගලයා වව්නියාවේදී අද (28) අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කීය.

සොරාගත් මුදලින් රුපියල් ලක්ෂ 10 ක දේශීය හා විදේශීය මුදල් රුපියල් දෙලක්ෂ පනස් දහසක රන් භාණ්ඩ මෙන්ම රුපියල් ලක්ෂ පහක දැව භාණ්ඩ පොලිසිය බාරයට ගෙන ඇත.

ඉකුත් 13 වැනිදා රාත්‍රී එහි ආරක්ෂාවට සිටි නිලධාරියාට නින්ද ගිය අවස්ථාවේදී සැකකරු එම ආයතනයේ ජනේලයක් බිද ඇතුළු වී මෙම මුදල් සොරකම් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට බම්බලපිටිය පොලිසිය එම කාර්යාලය අවට මාර්ගවල සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කිරීමේදී සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරු වව්නියාවේදී අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරා ගත් ඇමරිකානු ඩොලර් නෝට්ටු , යුරෝ මුදල් නෝට්ටු වැල්ලවත්ත ප්‍රදේශයේ විදේශීය මුදල් හුවමාරු කරන ස්ථානයකට ලබාදී මෙරට මුදල් ලබා ගෙන එදිනම වව්නියාවට පැමිණි බව ප්‍රකාශ කර ඇත.