( මොහොමඩ් ආසික්)
බන්ධනාගාර ගතව සිටින සිරකුරුවකු ජංගම දුරකථන හරහා මුදල් යැවීමේ ක්‍රමයට මහා පරිමාණයෙන් කළ හෙරොයින් ජාවාරමක් කොටු කර ගැනීමට කටුගස්තොට පොලීසියේ දූෂණ මර්දන අංශය සමත්විය.
පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදු කර ඇත. දැනට බන්ධනාගාර ගතව සිටින පුද්ගලයෙකු ජංගම දුරකථන මගින් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවනු ලැබ ඇති අතර ඔහු බන්ධනාගාරයේ සිට එළියේ සිටින ඔහුගේ උප ජාවාරම්කරු දුරකථනයෙන් දැනුම් දීමෙන් පසුව හෙරොයින් ප්‍රමාණය තෝරාගත් රහස් ස්ථානයක තැබීම සිදු වෙයි. ඉන් පසුව අදාළ ගැනුම් කරු එම ස්ථානයට රහසේම පැමිණ එම කුඩු රැගෙන යාම සිදු වන බව පොලීස් පරීක්ෂණවලින් හෙළිව තිබේ.
මෙලෙස හෙරොයින් මිළ දී ගැනීම සදහා වන මුදල් බන්ධනාගාරගතව සිටින පුද්ගලයාට ජංගම දුරකථනය මගින් යැවිය යුතු වන අතර එම මුදල් ලැබුණු බව තහවුරු කර ගැනීමෙන් පසුව ඔහුගේ එළියේ සිටින උප ජාවාරම්කරුට ලබා දිය යුතු හෙරොයින් ප්‍රමාණයත් එය තැබිය යුතු ස්ථානයත් දැනුම් දෙනු ලබයි.
බන්ධනාගාරගත පුද්ගලයාගේ හෙරොයින් ජාවාරම එළියේ සිට මෙහෙය වූ බව කියන පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් 1යි මිලිග්‍රෑම් 150 ක්ද සමග අද කටුගස්තොට හල්ඔළුව ප්‍රදේශයේදී අත් අඩංගුවට ගනු ලැබ ඇති අතර තවත් ඔහුගෙන් හෙරොයින් මිළ දී ගත් දෙදෙනකුද හෙරොයින් මිලි ග්‍රෑම් 22 ක් හා 18 ක් සමඟ අත් අඩංගුවට ගනු ලැබ තිබේ.
අත් අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද (27) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

