(එෆ්.අස්ලම්)
බදුල්ල, දිස්ත්‍රික්කයේ සමස්ථ භූමි ප්‍රමාණයෙන් 66.9%ක භූමි ප්‍රමාණයක් අපදා සහිත දැඩි අවදානම් කලාප බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් තහවුරු කර තිබෙන බව බදුල්ල දිස්ත්‍රීක් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසුවාය.
නායයාම් ඇතුලු ආපදාවන් ඉහත භූමි ප්‍රදේශ තුළ සිදුවිය හැකි බවත් කිසිදු හිරිහැරයක් නොමැති භූමි ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් 22%ක ප්‍රමාණයක් බවත් දිසා ලේකම්වරිය සදහන් කළාය.
බදුල්ල දිස්ත්‍රීක්කයේ දැඩි අවදානම් කලාප වල සිටින පවුල් 3608ක පිරිසකට සුදුසු ආරක්ෂිත ස්ථානවල පදිංචි වීමට උපදෙස් දී තිබෙන නමුත් බොහෝ පිරිස් එම ප්‍රදේශවලින් ඉවත්ව යාමට අකමැත්ත පළකිරීම නිසාවෙන් එම පවුල්වල අනාරක්ෂිත තත්වය තවදුරටත් ඉහළ ගොස් තිබෙන බවද කීවාය.
එමෙන්ම එම පවුල් වලට ආරක්ෂිත ස්ථානවල ඉඩම් මිළදී ගැනීම සදහා ලක්ෂ හතරක මුදලක් රජය විසින් ලබාදෙන බවත් නිවස තනා ගැනීම සදහා ලක්ෂ 12ක මුදලක්ද රජය වැය කරන බවත් කී දිසා ලේකම්වරිය මේ වනවිට ඊට එකඟ වී වෙනත් ස්ථානවල නිවාස ඉදිකරගෙන ඇත්තේ පවුල් 35ක් පමණක් බවද කීවාය.
රතු නිවේදන නිකුත් කර තිබෙන පවුල් 3608 අතරින් පවුල් 275කට දැනටත් පදිංචි ස්ථානවලින් ඉවත්වන ලෙස දැනුම් දුන්නද ඔවුන් ඊට එකඟ නොවීමෙන් ඔවුන්ගේ ජීවිත වලට පවා අවදානම් තත්වයක් මතුවිය හැකි බවද කියා සිටියාය.
ආපදාවලින් ආරක්ෂා වීමට ජනතාවගේ උනන්දුවද මූලිකවම තිබිය යුතු බවත් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සහ ආපදා සහන සේවා මධ්‍යස්ථානය අනාරක්ෂිත පවුල් ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරිමේ කාර්යභාරය සිදුකරමින් සිටින බවද කීවාය.
මීට අමතරව බදුල්ල දිස්ත්‍රීක්කයේ පසුගිය නොවැම්බර් 30 වනදා සිට මේ දක්වා ආපදා හේතුවෙන් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැති බවත් පූර්ණ වශයෙන් හානි වූ නිවාස හයක සහ අර්ධ හානි නිවාස 253ක් වාර්තා වී තිබෙන බවත් පවුල් 503කට අයත් 2144ක පිරිසක් ආපදා හේතුවෙන් අවතැන්වී ඇති බවත් කී දිසා ලේකම්වරිය ඒ අතරින් පවුල් 169කට අයත් 614ක පිරිසක් ආපදා සහන මධ්‍යස්ථානවලට සිටි බවද කීවාය.
එමෙන්ම බදුල්ල දිස්ත්‍රීක්කයේ අනාරක්ෂිත පවුල් ආරක්ෂිතව පදිංචි කිරීමේ කර්තව්‍ය සදහා සුදුසුම ක්‍රියාමාර්ගය සුදුසු ස්ථාන තෝරා ගනිමින් මහල් නිවාස ඉදිකිරීම බවද පෙන්වා දුන් දිසා ලේකම්වරිය අනාරක්ෂිත පවුල් 3608ක් පදිංචිකිරීමට තරම් ආරක්ෂිත භූමි ප්‍රමාණයක් බදුල්ල දිස්ත්‍රීක්කයේ නැති බවද කීවාය.

